ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ පාසලක සිදුවූ දරුණු වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධව, එම වෙඩි තැබීම සිදුකළ 16 හැවිරිදි සිසුවාගේ පියාට වසර 15ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 55 හැවිරිදි කොලින් ග්‍රේ නම් මෙම පියාට එරෙහිව මිනීමැරුම් සහ නොසැලකිලිමත්කම ඇතුළු චෝදනා කිහිපයක්ම ඔප්පු වී තිබෙනවා. 2024 වසරේදී ඇපලචී උසස් පාසලේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. විමර්ශනවලදී හෙළි වුණේ තම පුතාට වෙඩි තැබීමට අවශ්‍ය අවිය තෑග්ගක් ලෙස ලබා දී තිබුණේ මෙම පියා විසින් බවයි.
විනිසුරු නිකලස් ප්‍රිම් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, දරුවාගේ මානසික තත්ත්වය සහ ඔහු අන්තර්ජාලය ඔස්සේ සිදුකළ තර්ජන පිළිබඳව පියා දැනුවත්ව සිටියදීත්, ඔහු එය වළක්වා ගැනීමට කිසිදු පියවරක් නොගත් බවයි. දරුවාට උපදේශනයක් ලබා නොදීම සහ නිවසේ තිබූ ගිනි අවි ආරක්ෂිතව තබා නොගැනීම වැනි මූලික වගකීම් පැහැර හැරීම නිසා පියාට මෙම ඉරණම අත්ව තිබෙනවා. “ඔබ දෙමාපියෙකු ලෙස අසාර්ථකයි” යනුවෙන් විනිසුරුවරයා ඔහුට දැඩි ලෙස අවවාද කළා.
ඇමරිකාවේ පාසල් වෙඩි තැබීමක් සම්බන්ධයෙන් දෙමාපියෙකු අපරාධ වගකීමට ලක්වූ තුන්වන අවස්ථාව මෙයයි. නඩු විභාගයේදී පැමිණිල්ල කියා සිටියේ, තම පුතාගේ මානසික තත්ත්වය පිරිහී ඇති බව දැන දැනත් ඔහුට අවිය ලබා දීම හරහා පියා සිදුකළේ පුපුරන ද්‍රව්‍යයකට ගිනි දැල්වීමක් වැනි ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත්, පියා විසින්ම වෙඩි තැබීමක් සිදු නොකළ බවත් ඔහුට එවැනි අදහසක් නොතිබූ බවත් විනිසුරුවරයා පිළිගත්තා. කෙසේ වෙතත්, දරුවාගේ ක්‍රියාවන් පාලනය කිරීමට පියා අපොහොසත් වීම නිසා ඔහුට මෙම දඬුවම විඳීමට සිදුව තිබෙනවා.

Discussion & Feedback