ලෝක ප්රසිද්ධ හොලිවුඩ් නළු කීෆර් සදර්ලන්ඩ් ප්රධාන චරිතයට පණ පොවන ‘ෆාදර් ජෝ’ (Father Joe) චිත්රපටයේ මුල්ම දර්ශන පෙළ මේ දිනවල පැවැත්වෙන වැනීසිය ජාත්යන්තර චිත්රපට උළෙලේදී ප්රදර්ශනය කෙරුණා. මේ චිත්රපටයේ කීෆර් සදර්ලන්ඩ් සමඟින් ප්රවීණ නළු අල් පචීනෝ සහ තරුණ නිළි එවර් ඇන්ඩර්සන් රංගනයෙන් දායක වෙනවා. මෙහි කතාව ගෙතෙන්නේ මැන්හැටන් නුවර අපරාධ ලෝකය සමඟ දරුණු සටනක නිරත වන ආගමික භක්තියක් ඇති පූජකවරයෙක් වටායි. ඔහු තරුණියකගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කරන අතරතුර බලවත් මැර කල්ලියක නායකයෙකු සමඟ ගැටුමකට මුහුණ දෙන ආකාරය මෙහිදී දැකගන්න පුළුවන්.
මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ බාර්තෙලමි ග්රොස්මන් විසින් වන අතර, ප්රංශ සිනමාවේ දැවැන්තයෙකු වන ලූක් බෙසන් මෙහි තිර රචනය සහ නිෂ්පාදනය සිදු කර තිබෙනවා. වැනීසිය චිත්රපට උළෙලේ තරගකාරී නොවන අංශයෙන් මෙය ප්රදර්ශනය කෙරෙන අතර, චිත්රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා කීෆර් සදර්ලන්ඩ් ද දායක වී තිබීම විශේෂත්වයක්. චිත්රපටයේ මංගල දර්ශනයට සහභාගී වීමට නොහැකි වුවත්, අල් පචීනෝ ඇමරිකාවේ සිට වීඩියෝ පණිවිඩයක් එවමින් සමස්ත කණ්ඩායමටම සිය සුබ පැතුම් එක් කර තිබුණා. ක්රියාදාම සහ අපරාධ ගණයට අයත් මෙම චිත්රපටය රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කර තිබෙනවා.

Discussion & Feedback