2018 වසරේ අගෝස්තු 14 වැනිදා ඉතාලියේ ජෙනෝවා නුවරදී සිදුවූ මොරන්ඩි පාලම කඩා වැටීමේ ඛේදවාචකය මුළු ලෝකයම කම්පාවට පත් කළ සිදුවීමක් වුණා. එදා ඇතිවූ දරුණු කුණාටුවත් සමඟ පාලම කඩා වැටීමෙන් අහිංසක ජීවිත 43ක් බිලි වුණා. මේ අතර අලුත විවාහ වූ යුවළක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාද සිටීම කාගේත් හදවත් කම්පා කරවන සුළුයි. මේ සිදුවීමෙන් වසර අටකට ආසන්න කාලයක් ගතවී තිබියදී, වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් මේ වන විට අධිකරණ තීන්දුවක් බලාපොරොත්තුවෙන් දැඩි නොඉවසිල්ලෙන් පසුවෙනවා.
මෙම නඩුව සම්බන්ධයෙන් පුද්ගලයන් 57 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා. ඒ අතර ප්රධාන මාර්ග සමාගම්වල ඉහළ නිලධාරීන් සහ ඉංජිනේරුවන් පවා සිටිනවා. නඩුව විභාග කිරීම සඳහා වසර හතරක් සහ නඩු වාර 284ක් ගතවී තිබීම ඉතාලියේ අධිකරණ පද්ධතියේ පවතින මන්දගාමී බව පෙන්වා දෙන බවයි නීති විශේෂඥයන් පවසන්නේ. නඩුව පවතින අතරතුරදී විත්ති පාර්ශ්වය පවසන්නේ මෙය සැලසුම් දෝෂයක් බවත්, පැමිණිලි පාර්ශ්වය පවසන්නේ නඩත්තු කටයුතු පැහැර හැරීම නිසා මෙම අනතුර සිදුවූ බවත්ය.
වින්දිතයන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින එග්ලේ පොසෙට්ටි පවසන්නේ, වසර ගණනාවක් තිස්සේ මෙය හුදෙක් අනතුරක් පමණක් බව පවසා වගකීමෙන් මිදීමට උත්සාහ කළත්, අවසානයේ හෝ යුක්තිය ඉටුවේ යැයි තමන් බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත්, මෙම තීන්දුව මගින් වගකිවයුත්තන් කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම ඔවුන්ට විශාල සහනයක් වනු ඇති. මේ අතර, තීන්දුව ප්රකාශයට පත් කිරීමට ආසන්නව තිබියදී අදාළ සමාගම විසින් ප්රථම වරට මේ සම්බන්ධයෙන් සමාව අයැද සිටීමද විශේෂත්වයක්.

Discussion & Feedback