ඇමරිකානු වෙළඳපොළට අපනයනය කරන භාණ්ඩ සඳහා 10%ක බද්දක් පැනවීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ සංගමය (EASL) විසින් ඉතා හොඳ පියවරක් ලෙස පිළිගෙන තිබෙනවා. මීට පෙර යෝජනා වී තිබූ ඉහළ බදු අනුපාතවලට සාපේක්ෂව මෙම 10%ක බද්ද අපේ අපනයනකරුවන්ට විශාල සහනයක්. මේ හරහා බංග්ලාදේශය, ඉන්දියාව, වියට්නාමය වැනි අපේ ප්‍රධාන තරගකාරී රටවල් සමඟ එකම මට්ටමක සිට තරග කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයේදී ඉතා අඩු ලාභාංශයක් මත වැඩ කරන නිසා, මෙවැනි බදු සමානාත්මතාවයක් තිබීම අපේ අපනයන ක්ෂේත්රයේ පැවැත්මට ඉතාමත් වැදගත්.
මෙම සාර්ථකත්වය පිටුපස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ නිලධාරීන් ඇමරිකාව සමඟ සිදුකළ සාර්ථක සාකච්ඡා තිබෙන බවත්, එමගින් අපනයන ක්ෂේත්රයට සම්බන්ධ දහස් ගණනකගේ රැකියා සුරක්ෂිත වූ බවත් සංගමය පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, ඉදිරියේදී ජාත්‍යන්තර වෙළඳ ප්රතිපත්තිවල සිදුවිය හැකි වෙනස්කම්වලට මුහුණ දීම සඳහා ඇමරිකාව සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමකට එළඹීම අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කරනවා. මෙවැනි ස්ථාවර වෙළඳ පරිසරයක් නිර්මාණය කර ගැනීමෙන් අපේ අපනයනකරුවන්ට වඩාත් විශ්වාසයකින් යුතුව ජාත්‍යන්තර වෙළඳපොළේ කටයුතු කිරීමට හැකි වනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback