අභ්යවකාශ තාක්ෂණයේ අලුත්ම පෙරළියක් විදිහට ස්පාඤ්ඤයේ ‘ක්රෙයෝස් ස්පේස්’ (Kreios Space) සමාගම අලුත්ම වැඩක් පටන් අරන් තියෙනවා. ඒ තමයි පෘථිවි වායුගෝලයේ තියෙන වාතයම ඉන්ධන විදිහට පාවිච්චි කරලා අභ්යවකාශයේ ගමන් කරන්න පුළුවන් චන්ද්රිකා එන්ජිමක් හඳුන්වා දීම. මේ තාක්ෂණය හඳුන්වන්නේ ‘එයාර්-බ්රීතිං ඉලෙක්ට්රික් ප්රොපල්ෂන්’ (ABEP) කියලයි. සාමාන්යයෙන් චන්ද්රිකා වලට ඉන්ධන රැගෙන යන්න ඕන වුණත්, මේ ක්රමය නිසා වායුගෝලයේ තියෙන වාතය ඇතුළට අරගෙන ඒවා රත් කරලා, අයනීකරණය කරලා තෙරපුමක් ලබාගන්න පුළුවන් වෙනවා.
මේ තාක්ෂණය විශේෂ වෙන්නේ පෘථිවියට ඉතාම ආසන්න කක්ෂයක (VLEO) චන්ද්රිකා රඳවා තබා ගැනීමට පහසු වෙන නිසයි. සාමාන්යයෙන් මේ කක්ෂයේදී වායුගෝලීය ඝර්ෂණය නිසා චන්ද්රිකා පහළට ඇද වැටෙන්න බලනවා. නමුත් මේ අලුත් එන්ජිම නිසා ඉන්ධන නැතිව වුණත් දිගු කාලයක් චන්ද්රිකා වලට එතැන රැඳී ඉන්න පුළුවන්. මේ නිසා පෘථිවිය නිරීක්ෂණය කරන කැමරා වලට වඩාත් පැහැදිලි රූප ලබාගන්න වගේම, අභ්යවකාශයේ තදබදය අඩු කරගන්නත් ලොකු උදව්වක් ලැබෙනවා.
මේ ව්යාපෘතිය සඳහා ක්රෙයෝස් සමාගම ලිතුවේනියාවේ ‘කොන්ග්ස්බර්ග් නැනෝ ඇවියෝනික්ස්’ ආයතනයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. දැනට ලැබෙන තොරතුරු අනුව 2027 වසරේදී මේ තාක්ෂණය අත්හදා බැලීමේ පළමු මෙහෙයුම සිදු කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේක සාර්ථක වුණොත් අනාගතයේදී අභ්යවකාශ ගවේෂණය වඩාත් පහසු සහ ලාභදායී එකක් වේවි කියලා තමයි විද්යාඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback