සැම්බියාවේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය අතරතුර, එරට හිටපු අමාත්‍යවරයෙකු වන මුටොට්වේ කෆ්වායා ආරක්ෂක අංශ සිදුකළ වැටලීමකදී වෙඩි වැදී මියගොස් තිබෙනවා. විපක්ෂ නායක බ්‍රයන් මුන්ඩුබිලේගේ නිවසක් ඉලක්ක කර ගනිමින් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් 49 හැවිරිදි කෆ්වායා මියගිය බව පොලිසිය තහවුරු කළා. මෙම සිද්ධියෙන් පුද්ගලයින් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, විපක්ෂය විසින් මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තමන්ට එරෙහිව ගොතන ලද බොරු චෝදනා මේවා බවයි.
මේ අතර, ජනාධිපති හකයින්දේ හිචිලේමා දෙවන වරටත් ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ රට තුළ දේශපාලන උණුසුම ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂය සූදානම් වන අතර, මැතිවරණ ක්‍රියාවලියේදී අක්‍රමිකතා සිදුවූ බවට යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් පවා සැක පළ කර තිබෙනවා. විශේෂයෙන්ම ඡන්ද ගණන් කිරීමේදී සිදුවූ ප්‍රමාදයන් සහ හමුදා මැදිහත්වීම් පිළිබඳව ඔවුන් දැඩි විවේචන එල්ල කරනවා.
මේ වන විට විපක්ෂ නායක බ්‍රයන් මුන්ඩුබිලේ සැඟවී සිටින අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව සහ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කෆ්වායාගේ මරණයත් සමඟ සැම්බියාවේ දේශපාලන අර්බුදය තවත් උග්‍ර වී ඇති අතර, රටේ ප්රජාතන්ත්රවාදය සහ මාධ්‍ය නිදහස පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබෙනවා.

Discussion & Feedback