සිරියාවේ රක්කා නගරයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙක් වන කාලෙඩ් අල්-එච් සහ තවත් පොලිස් ප්‍රධානියෙක් වන මූසාබ් අබූ ආර් යන දෙදෙනාට ඔස්ට්‍රියාවේ වියානා අධිකරණයක් විසින් වසර අටක සිරදඬුවම් නියම කර තිබෙනවා. මොවුන් දෙදෙනාට එරෙහිව එල්ල වී තිබුණේ 2011 සහ 2013 අතර කාලයේදී සිරියානු පාලනයට එරෙහි වූ විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස වධහිංසා පැමිණවීම සහ ලිංගික අපයෝජනයන් සිදු කිරීම වැනි බරපතල චෝදනායි. යුරෝපීය රටක අධිකරණයක් සිරියානු රජයේ නිලධාරීන් සිදු කළ මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කර තීන්දුවක් ලබා දීම ඉතාමත් දුර්ලභ සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ.
මෙම නඩු විභාගයේදී වින්දිතයන් බොහෝ දෙනෙක් යුරෝපයේ සහ සිරියාවේ සිට පැමිණ සාක්ෂි ලබා දුන්නා. ඔවුන් පවසා සිටියේ තමන්ව නිරුවත් කර, විදුලි සැර වැද්දීම සහ උණු වතුර හා සීතල වතුර දමා අමානුෂික ලෙස වධහිංසා පැමිණවූ බවයි. තමන් සුළුතර ජන කොටසකට අයත් නිසා ඉහළින් ලැබුණු නියෝග ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව කාලෙඩ් අල්-එච් අධිකරණයේදී පැවසුවත්, විනිසුරුවරුන් එය පිළිගත්තේ නැහැ. 2015 වසරේදී ඔස්ට්‍රියාවෙන් දේශපාලන රැකවරණ පැතූ මෙම පුද්ගලයන් දෙදෙනා, ඊශ්‍රායල බුද්ධි අංශයේ මැදිහත්වීමකින් ඔස්ට්‍රියාවට පැමිණි බවටද වාර්තා පළ වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාව පවතිනවා.

Discussion & Feedback