හොලිවුඩ් සිනමාවේ ‘Evil Dead’ චිත්රපට මාලාව හරහා ලොව පුරා රසික ආදරය දිනාගත් ප්රවීණ නළු බෲස් කැම්බල් තමාට වැළඳී ඇති පිළිකා රෝගය පිළිබඳව සංවේදී හෙළිදරව්වක් කර තිබෙනවා. ඇඩම් කරෝලාගේ පොඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, වෛද්යවරුන්ගේ අනාවැකිවලට අනුව තමාට තව ජීවත් වීමට ඇත්තේ වසර පහක පමණ කාලයක් බවයි. පසුගිය මාර්තු මාසයේදී තමාට පිළිකාවක් වැළඳී ඇති බව ප්රසිද්ධ කළත්, එය සුව කළ නොහැකි නමුත් පාලනය කළ හැකි තත්ත්වයක පවතින බව ඔහු එදා සඳහන් කළා. කෙසේ වෙතත්, මේ වන විට තමා එම රෝගී තත්ත්වය සමඟ සටන් කරමින් ජීවිතයට මුහුණ දෙන බව ඔහු පවසනවා.
තමා රෝගී තත්ත්වය ගැන වැඩිපුර සිතමින් මානසිකව වැටීමට සූදානම් නැති බවත්, පිළිකාවෙන් මිය යනවාට වඩා එය සමඟ ජීවත් වීමට තමා තීරණය කර ඇති බවත් ඔහු අවධාරණය කළා. පිළිකාව ශරීරයේ විවිධ අවයවවලට බලපෑම් කරන ආකාරය ගැන විස්තර කළ කැම්බල්, එය හරියට ‘Whack-a-mole’ ක්රීඩාවක් වගේ එක තැනක ගින්නක් නිවන විට තවත් තැනකින් මතුවන බවයි පවසන්නේ. කෙසේ වෙතත්, මේ අභියෝගාත්මක කාලය තුළ තමා තුළ ඇති වී තිබෙන ජීවිතය පිළිබඳ අගය කිරීම සහ කෘතඥතාවය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් බව ඔහු පවසනවා.
දැනට 68 හැවිරිදි වියේ පසුවන බෲස් කැම්බල්, තමාගේ ප්රතිකාර මධ්යයේ වුවද තමා විසින්ම අධ්යක්ෂණය කළ ‘Ernie & Emma’ චිත්රපටයේ ප්රවර්ධන කටයුතු සඳහා සංචාරයක නිරත වෙමින් සිටිනවා. තමා තවමත් ශක්තිමත් බවත්, රෝගී තත්ත්වය හමුවේ වුවද ජීවිතය උපරිමයෙන් විඳින බවත් ඔහු පෙන්වා දෙනවා. ඔහුගේ රසිකයන් මේ වන විටත් ඔහුට ඉක්මන් සුවය සහ ධෛර්යය ප්රාර්ථනා කරමින් සිටිනවා.

Discussion & Feedback