කාන්තාරයේ නැව් ලෙස හඳුන්වන ඔටුවන්, දැඩි උණුසුමට ඔරොත්තු දෙන සතුන් වුණත්, අප්‍රිකානු කලාපයේ උෂ්ණත්වය දරාගත නොහැකි මට්ටමට ඉහළ යාම නිසා ඔවුන් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඉතියෝපියාවේ අෆාර් වැනි ප්‍රදේශවල ඔටුවන් රැකබලා ගන්නා පිරිස් පවසන්නේ, අධික රස්නය නිසා ඔටුවන්ගේ පාදවල බිබිලි ඇතිවීම, ඇස්වලින් කඳුළු ගැලීම සහ සම පිලිස්සීම වැනි බරපතළ තත්ත්වයන් දකින්න ලැබෙන බවයි. පසුගිය මාස කිහිපය තුළ පමණක් කුඩා ඔටුවන් විශාල සංඛ්‍යාවක් මේ අධික උෂ්ණත්වය නිසා මියගොස් තිබෙනවා. සුළඟ පවා දැන් සිසිල් බව වෙනුවට ගිනියම් වූ රස්නයක් රැගෙන එන බවයි ඔටු හිමියන් කනගාටුවෙන් පවසන්නේ.
විද්‍යාඥයන් සහ පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස නිසා ඇතිවී තිබෙන මෙම උෂ්ණත්වය ඔටුවන්ගේ සෞඛ්‍යයට, ප්‍රජනන හැකියාවට සහ කිරි නිෂ්පාදනයට සෘජුවම බලපාන බවයි. සෝමාලියාව සහ කෙන්යාව වැනි රටවල සිදුකළ පර්යේෂණවලින් පෙනී යන්නේ ඔටුවන්ගේ මරණ අනුපාතය පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. විශේෂයෙන්ම අධික උෂ්ණත්වය නිසා ඇතිවන විජලනය සහ විවිධ ආසාදන තත්ත්වයන් මෙම සතුන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කාන්තාරයේ දරුණු දේශගුණයට හුරු වූ ඔටුවන්ට පවා මෙවැනි දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම, ලෝකයේ දේශගුණික විපර්යාස කෙතරම් බරපතළද යන්නට කදිම උදාහරණයක්.

Discussion & Feedback