මේ දිනවල යුරෝපයේ රටවල් කිහිපයකටම බලපා ඇති දරුණු උණුසුම් කාලගුණය නිසා ජන ජීවිතය දැඩි අර්බුදයකට ලක්වෙලා තියෙනවා. ස්පාඤ්ඤය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය හරහා හමා ගිය මෙම උණුසුම් රැල්ල දැන් ජර්මනිය සහ චෙක් ජනරජය දෙසට ගමන් කරමින් පවතිනවා. ප්‍රංශයේ උෂ්ණත්වය වාර්තාගත මට්ටමකට ඉහළ යාමත් සමඟ එරට රජය සෞඛ්‍ය අංශ සඳහා ඉහළම මට්ටමේ හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩි කිරීමටත්, අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමටත් පියවර ගෙන ඇති අතර, තරුණ පිරිස් පවා මෙම උණුසුම් කාලගුණය නිසා මිය යාම බරපතල තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
පැරිස් නගරාධිපතිවරයා පවසන පරිදි, උණුසුම් කාලගුණය නොතකා ව්‍යායාමවල නිරත වීම ඉතාම වගකීම් විරහිත ක්‍රියාවක්. මේ වන විටත් ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති අතර, අධික උණුසුම නිසා න්‍යෂ්ටික බලාගාර කිහිපයක් පවා තාවකාලිකව වසා දැමීමට සිදුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රධානියා පවසන්නේ, මෙම තත්ත්වය දේශගුණික අර්බුදයේ ප්‍රතිඵලයක් බවයි. ලෝකයේ අනෙක් ප්‍රදේශවලට වඩා දෙගුණයක වේගයකින් යුරෝපය උණුසුම් වෙමින් පවතින බවත්, ඉදිරියේදී වනාන්තර ආරක්ෂා කර ගැනීමට සහ පුනර්ජනනීය බලශක්තිය වෙත වේගයෙන් යොමු වීමට සිදුවන බවත් ඔහු අවධාරණය කරනවා. ඉදිරි දිනවලදී ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවලට දරුණු ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි බවටත් කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවනවා.

Discussion & Feedback