යුරෝපා සංගමය විසින් ඉදිරියේදී අලෙවි කරන සියලුම මගී මෝටර් රථ සහ වෑන් රථ සඳහා අති නවීන ආරක්ෂිත විශේෂාංග පහක් අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා. 2026 ජූලි 7 වැනිදා සිට මෙම නව නීතිය ක්රියාත්මක වන අතර, ඒ හරහා මාර්ග අනතුරු අවම කරමින් රියදුරන්ගේ සහ පදිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම යුරෝපා කොමිසමේ ප්රධාන අරමුණ වී තිබෙනවා. විශේෂයෙන්ම මාර්ගවල ගමන් කරන පදිකයන් සහ පාපැදිකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ඉතා වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම නව නීතියට අනුව, වාහනවල පදිකයන් සහ පාපැදිකරුවන් හඳුනාගත හැකි දියුණු හදිසි තිරිංග පද්ධතියක් (Emergency Braking System) අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ වගේම රියදුරුගේ අවධානය වෙනතකට යොමු වුවහොත් අනතුරු ඇඟවීමේ පද්ධතියක් සහ ගැටුමකදී පදිකයන්ට සිදුවන හානිය අවම කිරීමට විශේෂිත ආරක්ෂිත වීදුරු පද්ධතියක් ද වාහනවල අන්තර්ගත විය යුතු වෙනවා. යුරෝපා සංගමය තුළ සිදුවන මාරක මාර්ග අනතුරු ප්රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීම සඳහා මෙම නවීන තාක්ෂණයන් බෙහෙවින් උපකාරී වනු ඇති බවයි බලධාරීන් විශ්වාස කරන්නේ.
මෙම පියවර මගින් වාහන නිෂ්පාදකයින්ට වඩාත් ආරක්ෂිත වාහන නිර්මාණය කිරීමට බලපෑම් ඇති වන අතර, එය සමස්ත මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීමට ගන්නා විශාල උත්සාහයක කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉදිරියේදී යුරෝපයේ වාහන මිලදී ගන්නා ඕනෑම අයෙකුට මෙම නවීන ආරක්ෂිත පහසුකම් සහිත වාහන තෝරා ගැනීමට සිදුවන අතර, එයින් රියදුරන්ට මෙන්ම පාරේ ගමන් කරන අයටත් විශාල සහනයක් ලැබෙනු නොඅනුමානයි.

Discussion & Feedback