යුරෝපා සංගමය විසින් ගූගල් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියනයක දැවැන්ත දඩ මුදලක් නියම කරලා තියෙනවා. ඒ ඔවුන්ගේ ඩිජිටල් වෙළඳපොළ නීති හෙවත් ‘ඩිජිටල් මාර්කට්ස් ඇක්ට්’ (DMA) උල්ලංඝනය කිරීම නිසයි. ගූගල් සමාගම තමන්ගේම සේවාවන් වන හෝටල්, සාප්පු සවාරි සහ ප්රවාහන සේවා, අනිත් තරඟකාරී සමාගම්වලට වඩා ඉහළින් ගූගල් සෙවුම් යන්ත්රයේ ප්රදර්ශනය කිරීම සහ ගූගල් ප්ලේ ස්ටෝර් එක හරහා ඇප් ඩිවලොපර්ස්ලාට පාරිභෝගිකයන් එක්ක කෙලින්ම ගනුදෙනු කරන්න තියෙන අවස්ථාව සීමා කිරීම මේ දඩයට ප්රධාන හේතු විදිහට යුරෝපා කොමිසම පෙන්වා දෙනවා.
මේ තීරණයත් එක්ක යුරෝපා කොමිසම කියන්නේ හොඳම නිෂ්පාදන සාර්ථක වෙන්න ඕනේ ඒවායේ ගුණාත්මකභාවය නිසා මිසක්, සෙවුම් යන්ත්රය අයිති සමාගම නිසා නෙවෙයි කියලයි. ඒ වගේම පාරිභෝගිකයන්ට වඩාත් වාසිදායක දීමනා ලබාගන්න තියෙන අයිතිය තහවුරු කරන්න ඕනේ කියලත් ඔවුන් අවධාරණය කරනවා. මේ දඩ මුදල ගෙවීමට අමතරව, ඉදිරි දින 60 ඇතුළත නියම කරලා තියෙන නීති රීතිවලට අනුගත වෙන්නත් ගූගල් සමාගමට සිද්ධ වෙනවා.
අනිත් පැත්තෙන් ගූගල් සමාගම මේ තීරණයට තදින්ම විරුද්ධ වෙලා තියෙනවා. ඔවුන් කියන්නේ මේ නීති නිසා යුරෝපීය පාරිභෝගිකයන් ආදරය කරන ගූගල් සෙවුම් යන්ත්රයේ පහසුකම් සහ ආරක්ෂිත පියවරයන් පවා අඩපණ වෙන්න පුළුවන් කියලයි. කොහොම වුණත්, යුරෝපා සංගමය තමන්ගේ මේ දැඩි ස්ථාවරයේ ඉඳගෙන තාක්ෂණික දැවැන්තයන්ගේ බලපෑම් පාලනය කරන්න දිගටම කටයුතු කරන බවයි පෙනෙන්න තියෙන්නේ.

Discussion & Feedback