යුරෝපා සංගමය විසින් වයස අවුරුදු 13ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් ප්‍රකාශ කළේ, වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා පෞද්ගලික ගිණුම් පවත්වාගෙන යාමද තහනම් කිරීමට ඔවුන් පියවර ගන්නා බවයි. කෙසේ වෙතත්, 13 සහ 14 හැවිරිදි දරුවන්ට දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ දිනකට පැයක කාලයක් පමණක් සීමා සහිත විශේෂ ගිණුම් භාවිතා කිරීමට අවස්ථාව ලබා දීමට නියමිතයි.
මෙම නව නීතිය ‘ළමා පනත’ (Kids Act) ලෙස හඳුන්වා දී ඇති අතර, සමාජ මාධ්‍ය සමාගම් තම වේදිකා දරුවන්ට ආරක්ෂිත බව ඔප්පු කිරීමේ වගකීම එම සමාගම් වෙතම පැවරෙනවා. දැනටමත් බොහෝ සමාජ මාධ්‍ය වේදිකා 13ට අඩු දරුවන් තහනම් කර ඇතත්, ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට මතයක් පවතිනවා. ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඩෙන්මාර්කය වැනි රටවල් දැනටමත් මෙවැනි සීමාවන් පැනවීමට උත්සාහ කරමින් සිටින අතර, යුරෝපා සංගමය මෙම පියවර ගන්නේ ලොව පුරා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළක කොටසක් ලෙසයි.
තවද, කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ, එම තාක්ෂණය මානව වර්ගයාට හිතකර ලෙස භාවිත කළ හැකි වුවත්, හැකර් ප්‍රහාර වැනි අවදානම් පාලනය කර ගැනීමට කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා ප්රමුඛ පෙළේ AI ආයතන සමඟ සාකච්ඡා කිරීමටත්, තාක්ෂණයේ වේගය පාලනය කිරීමටත් ඇය බලාපොරොත්තු වෙනවා. විශාල තාක්ෂණික සමාගම්වල බලපෑමට යටත් නොවී, නීති රීති තීරණය කිරීමේ බලය යුරෝපය සතු බව ඇය අවධාරණය කරනවා.

Discussion & Feedback