වත්තල, පමුණුගම, වහටියගොඩ වෙරළ තීරයේ සිදුකරමින් පවතින ගල් බැම්මක ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පියවර අරන් තියෙනවා. පසුගිය සෙනසුරාදා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ එම ස්ථානය නිරීක්ෂණය කළ ඇමතිවරයාට පෙනී ගොස් තිබෙන්නේ, වෙරළ ඛාදනය වැළැක්වීමට ඉදිකරන මෙම බැම්ම අනුමත සීමාවන් ඉක්මවා වෙරළට අයත් ප්‍රදේශ ආක්‍රමණය කරමින් ඉදිකර ඇති බවයි. ඒ අනුව, මෙම ව්‍යාපෘතියට අදාළව ලබාදී ඇති අවසරයන් සහ ඉදිකිරීම් සිදුකර ඇති ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අදාළ රාජ්‍ය නිලධාරීන් සිය වගකීම් නිසි ලෙස ඉටුකර තිබේද යන්න සොයා බලන ලෙසත් ඇමතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දික්කෝවිට, තල්දියවත්ත ප්‍රදේශයේ මුහුදු රළ පහරට ලක්ව හානි වූ නිවසක්ද ඇමතිවරයා විසින් නිරීක්ෂණය කළා. වෙරළ ඛාදනය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු කෙටිකාලීන සහ දිගුකාලීන පියවර පිළිබඳව තාක්ෂණික වාර්තාවක් ලබාදෙන ලෙසත් ඔහු නිලධාරීන්ට දැනුම් දුන්නා. වෙරළ කලාපයේ ඕනෑම සංවර්ධන කටයුත්තක් සිදුකිරීමේදී අනිවාර්යයෙන්ම නීති රීති සහ තාක්ෂණික නිර්දේශවලට අනුකූලව කටයුතු කළ යුතු බවත්, ජනතාවගේ දේපළ සහ පරිසරය ආරක්ෂා කිරීම රජයේ ප්රමුඛ වගකීමක් බවත් ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

Discussion & Feedback