ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් අමෙරිකානු ඩොලර් 250,641ක් වටිනා හදිසි ආධාර තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පසුගියදා භාර දුන්නා. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත රජයන්ගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන මගින් විශේෂයෙන්ම ආපදා කාලවලදී කාන්තාවන්ගේ සහ දැරියන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කිරීම බලාපොරොත්තු වෙනවා. කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී පැවැති මෙම උත්සවයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් රැසක් එක්ව සිටියා.
මෙම ආධාර තොගයට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන කූඩාරම්, ප්‍රසව හා නාරිවේද වෛද්‍ය උපකරණ සහිත මලු, මාතෘ හා ළදරු සත්කාරක කට්ටල මෙන්ම වැඩිහිටියන් සහ කාන්තාවන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක කට්ටල ඇතුළත් වෙනවා. ආපදා අවස්ථාවකදී මාර්ග අවහිර වීම් වැනි බාධාවන් මධ්‍යයේ වුවද, ක්ෂණිකව සහන සේවාවන් ලබා දීම සඳහා මෙම උපකරණ ආපදා අවදානම් සහිත දිස්ත්‍රික්කවල කල්තියා ස්ථානගත කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන්නේ. මෙමගින් හදිසි අවස්ථාවකදී වුවද කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට විශාල පිටුවහලක් ලැබෙනු ඇති බවයි බලධාරීන් පවසන්නේ.

Discussion & Feedback