ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජියර්ස් නුවර පිහිටි ළමා නිවාසයක අද අලුයම හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් එකොළොස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ අනතුරෙන් තවත් දහනව දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන භටයින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි එරට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මියගිය සහ තුවාල ලැබූවන්ගේ වයස් සීමාවන් පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වෙලා නැහැ.
කෙසේ වෙතත්, ගින්න පැතිරෙන අතරතුර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පස් දෙනෙකු බේරාගෙන ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාම ඇල්ජීරියාවේ පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් රට පුරා ලැව්ගිනි දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ සුවදුක් බැලීම සඳහා ඇල්ජීරියානු අග්‍රාමාත්‍ය සිෆි ග්රීබ් මහතා රෝහල් වෙත ගොස් තිබෙනවා.
මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. අග්‍රාමාත්‍යවරයා රෝහල්ගතව සිටින දරුවෙකු අසල සිටින ඡායාරූපයක් ද රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබුණා. රටේ පවතින අධික උෂ්ණත්වය නිසා මෙවැනි අනතුරු තවදුරටත් සිදුවීමේ අවදානමක් පවතින බවයි බලධාරීන් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback