තුර්කියේ මනිසා පළාතේ පිහිටි වෘත්තීය පාසලක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බවයි වාර්තා වෙන්නේ. වෙඩි තැබීම සිදුකළ සැකකරු වයස අවුරුදු 15ක පාසල් සිසුවෙක් බව හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා. සිද්ධියට භාවිතා කළ ගිනි අවියට හිමිකම් කියන සැකකරුගේ මව, පියා සහ සීයා ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අදාළ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී සැකකරු ඉතා සන්සුන්ව ගිනි අවියක් රැගෙන වීදිය හරහා ගමන් කරන අයුරු සීසීටීවී දර්ශනවලින් පැහැදිලිවම දැකගන්න පුළුවන්. වෙඩි තැබීමෙන් පසු ඔහු ආයුධය ද රැගෙන පලා යන අයුරුත් එම දර්ශනවල සටහන් වෙලා තියෙනවා. මේ ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. තුර්කියේ අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ සිදුවීම මුළු රටම දැඩි කම්පනයට පත් කළ බවයි. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙනවා.
තුර්කියේ මේ වසර තුළ සිදුවූ තුන්වන පාසල් වෙඩි තැබීමේ සිද්ධිය මෙයයි. මීට පෙර අප්‍රේල් මාසයේදී සිදුවූ වෙඩි තැබීම් දෙකකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. මේ නිසා පාසල්වල ආරක්ෂාව තර කිරීමටත්, ගිනි අවි පාලනය කිරීමේ නීති දැඩි කිරීමටත් රජය පියවර ගනිමින් සිටිනවා. කෙසේ වෙතත්, මෙවැනි ප්රචණ්ඩ ක්‍රියා රට තුළ නැවත නැවතත් සිදුවීම ජනතාව අතර විශාල බියක් සහ කනස්සල්ලක් ඇති කර තිබෙනවා.

Discussion & Feedback