මේ දවස්වල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් එක්ක මඩකලපුව, මොනරාගල සහ අම්පාර වගේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාවට පානීය ජලය ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න රජය තීරණය කරලා තියෙනවා. එල් නිනෝ දේශගුණික විපර්යාසය නිසා ඇතිවෙලා තියෙන මේ තත්ත්වයට මුහුණ දෙන්න පත් කරපු විශේෂ අමාත්‍ය අනුකමිටුවේ තුන්වැනි රැස්වීම පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවේදී, අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ජනතාවට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ඒ වගේම ඉදිරියේදීත් මේ වියළි කාලගුණය දිගටම පැවතුණොත් සහ භූගත ජල මට්ටම තවත් පහළ ගියොත් ගන්න ඕන පියවර ගැනත් මෙහිදී දීර්ඝව සාකච්ඡා කළා. කෘෂිකර්ම, වැවිලි, වනජීවී සහ ජල සම්පත් කළමනාකරණය වගේ අංශවලට මේ කාලගුණයෙන් වෙන්න පුළුවන් බලපෑම් අවම කරගන්න ඉදිරිපත් කරපු ක්‍රියාකාරී සැලසුම් ගැනත් මෙහිදී අවධානය යොමු වුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව කටයුතු කරමින්, මේ තත්ත්වය ගැන ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරන්නත් නිලධාරීන් පියවර ගන්නවා. මේ සාකච්ඡාවට අමාත්‍යවරුන් වන සුසිල් රණසිංහ සහ වසන්ත සමරසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වුණා.

Discussion & Feedback