හෙට (20) සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කරලා තියෙනවා. ඒ අනුව, සුදු බිත්තරයක් රුපියල් 41ක් සහ රතු බිත්තරයක් රුපියල් 42ක් ලෙස අලෙවි කිරීමට සිදුවන බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කුලියාපිටියේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. මේ මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රජය විසින් ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම හේතුවෙන් ඇතිවී තිබෙන සත්ව ආහාර හිඟයයි.
දේශීය ඉරිඟු අස්වැන්න බිත්තර කර්මාන්තයේ අවශ්‍යතාවය සපුරාලීමට ප්‍රමාණවත් නොවන නිසා ගොවීන්ට සහල් වැනි විකල්ප ආහාර වර්ග භාවිතා කිරීමට සිදුවෙලා තියෙනවා. මේ හේතුවෙන් කුකුළන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ජීර්ණ පද්ධතියට බරපතළ හානි සිදුවී බිත්තර නිෂ්පාදනය සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම, සමහර ව්‍යාපාරිකයින් සත්ව ආහාරවලට විවිධ රසායනික ද්‍රව්‍ය සහ බෙහෙත් වර්ග මිශ්‍ර කිරීම නිසා කුකුළන් විශාල වශයෙන් මියයාමෙන් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්වෙලා ඉන්නවා.
මේ තත්ත්වය මත නිෂ්පාදන පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති නිසා බිත්තර මිල වැඩි කිරීමට සිදුවූ බවයි නිෂ්පාදකයින් පවසන්නේ. බලධාරීන් මේ ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී බිත්තර කර්මාන්තය තවත් අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවනවා.

Discussion & Feedback