රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ ඔලෙෂ්කි නගරයේ ජනතාව මේ වන විට ඉතාමත් අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. 2022 වසරේ සිට රුසියානු පාලනය යටතේ පවතින මේ නගරයේ ජල, විදුලි සහ ආහාර සැපයුම් සම්පූර්ණයෙන්ම ඇණහිටලා තියෙන්නේ. එතන ඉන්න වැසියන් පවසන විදිහට, ආහාර හිඟය නිසා ඔවුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ගෙවතු වල වැවෙන වල් පැළෑටි තම්බා ආහාරයට ගැනීමෙන්. නගරයේ කිසිදු වෙළඳසැලක් විවෘතව නැති අතර, පසුගිය මැයි මාසයෙන් පසුව කිසිදු ආහාර සැපයුමක් ලැබී නැති බවයි වාර්තා වෙන්නේ.
මේ නගරයේ තත්ත්වය කොතරම් දරුණුද කියනවා නම්, ආහාර සොයා යාමට උත්සාහ කළ සිවිල් වැසියන් පවා ඩ්‍රෝන ප්‍රහාර වලට ලක්වී මිය යනවා. පසුගිය දිනක ආහාර මල්ලක් රැගෙන එමින් සිටි යුවළක් මෙලෙස ඝාතනයට ලක් වුණා. යුක්රේන රජයේ ඇස්තමේන්තු වලට අනුව, යුද්ධයට පෙර 24,000ක් ජීවත් වූ මේ නගරයේ දැන් ඉතිරිව සිටින්නේ 6,000ක් වැනි සුළු පිරිසක් පමණයි. ඔවුන් අතර කුඩා දරුවන් 200ක් පමණ සිටින අතර, ඔවුන් පෝෂණ ඌනතා සහ වෛද්‍ය පහසුකම් නොමැතිකම නිසා දැඩි පීඩාවකට පත්වෙලා ඉන්නවා.
නගරයේ පවතින මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් රුසියාවත් පිළිගෙන තිබුණත්, ඔවුන් ඒ සඳහා යුක්රේනයට චෝදනා කරනවා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ප්‍රජාව මේ අසරණ ජනතාවට මානුෂීය ආධාර ලබා දීමට මැදිහත් විය යුතු බව යුක්රේන විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. විදුලිය හෝ ගෑස් නොමැතිව, නිරන්තර බෝම්බ ප්‍රහාර මැද ජීවිතය ගැටගසා ගන්නා මේ ජනතාවගේ අනාගතය අද වන විට ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙලා තියෙනවා.

Discussion & Feedback