සමාජ මාධ්‍ය ඔස්සේ ආකර්ෂණීය දැන්වීම් පළ කරමින්, පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස සහ ඉඩම් ලබා දෙන බව පවසා ජනතාව රවටා මුදල් වංචා කළ පෞද්ගලික සමාගමක අධ්යක්ෂවරයෙක් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. මීගමුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මෙම සැකකරු, නිවාස ව්‍යාපෘතියක් සඳහා මුදල් ආයෝජනය කරන ලෙස පවසමින් ජනතාවගෙන් මුදල් ලබාගෙන තිබුණේ ඉතා සූක්ෂම ලෙසයි. මොහුගේ මෙම වංචනික ක්‍රියාවට හසුවූ බොහෝ දෙනෙක් නිවාසවල වටිනාකමින් 60%ක අත්තිකාරම් මුදලක් ගෙවා තිබුණත්, අවසානයේ ඔවුන්ට පොරොන්දු වූ කිසිදු නිවසක් ලැබී නැහැ.
පසුව මුදල් ආපසු ඉල්ලා සිටි පාරිභෝගිකයන්ට සැකකරු විසින් ලබා දී තිබූ චෙක්පත් පවා බැංකුවෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා. මේ වන විටත් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි පහක් ලැබී ඇති අතර, තවත් බොහෝ පිරිසක් මෙම වංචාවට හසුවී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර, මෙවැනි ව්‍යාජ ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතුයි.

Discussion & Feedback