පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ඉතාමත් බරපතල සහ කම්පන සහගත තොරතුරු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කර තිබෙනවා. රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පවසා සිටියේ, යුද හමුදා බුද්ධි අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය වෙත ප්‍රහාරය පිළිබඳව කලින්ම තොරතුරු ලැබී තිබුණත්, ඒවා අනෙකුත් ආරක්ෂක අංශ වෙත හිතාමතාම ලබා නොදුන් බවට සාක්ෂි ලැබෙමින් පවතින බවයි. විශේෂයෙන්ම, වවුනියාවේ බුද්ධි නිලධාරියෙකුට ලැබුණු තොරතුරු පවා ඉහළට වාර්තා නොකර සැඟවීමට කටයුතු කර ඇති බවත්, සහරාන් හෂීම් වැනි අන්තවාදීන් ආරක්ෂා කිරීමට බුද්ධි අංශ තුළම සංවිධානාත්මක කණ්ඩායමක් ක්‍රියා කර ඇති බවත් මෙහිදී මතු වුණා.
එමෙන්ම, වවුනතිව් ප්‍රහාරය සම්බන්ධයෙන්ද බුද්ධි අංශ විසින් වැරදි තොරතුරු ලබා දී ඇති බවත්, සහරාන්ගේ ගමන් බිමන් සඳහා දේශපාලන සහ ව්‍යාපාරික මට්ටමින් සහය ලැබී ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. විශේෂයෙන්ම ෂැංග්‍රිලා බෝම්බකරුගේ බිරිඳගේ පියා වන ව්‍යාපාරිකයෙකුගේ යාත්‍රා සහ සම්බන්ධතා පිළිබඳවද මේ වන විට පරීක්ෂණ සිදුවනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙත අන්තවාදීන් 94 දෙනෙකුගේ ලැයිස්තුවක් කලින්ම ලැබී තිබියදීත්, එය නිසි ලෙස කළමනාකරණය නොකිරීම පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් වුණා. මෙම සිදුවීම් මාලාව දෙස බලන විට, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථාවන් බුද්ධි අංශවල ඇතැම් පිරිස් විසින් හිතාමතාම මඟහැර ඇති බවට පෙනී යන බවයි රජයේ පාර්ශ්වය පවසන්නේ.

Discussion & Feedback