දශක කිහිපයකට පසු වාර්තා වන දරුණුතම සුළි කුණාටුවක් වන ‘බාවි’ (Bavi) මේ වන විට පැසිෆික් සාගරය හරහා තායිවානය දෙසට ගමන් කරමින් තිබෙනවා. ප්‍රංශයේ විශාලත්වයට සමාන කිලෝමීටර් 1000ක පමණ දැවැන්ත වපසරියකින් යුත් මෙම කුණාටුව හේතුවෙන් පිලිපීනයේ මින්ඩනාඕ දූපතේ ඇති වූ නායයෑම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවමත් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, ප්‍රදේශයේ ජනතාව දැඩි අවදානමකයි පසුවන්නේ.
තායිවානය සහ ජපානයේ දුරස්ථ දූපත් කිහිපයකට දැඩි බලපෑම් එල්ල කරමින් සෙනසුරාදා වන විට චීනයේ ගිනිකොනදිග වෙරළ තීරයට මෙම කුණාටුව කඩා වැදීමට නියමිතයි. මේ නිසා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර, පාසල් වසා දමා ජනතාව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගබඩා කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. තායිවාන බලධාරීන් හමුදා භටයින් 29,000ක් සූදානමින් තබා ඇති අතර, චීනයේ උතුරු පළාත්වලට ද මෙම කුණාටුවේ බලපෑම දැඩි ලෙස දැනෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
මීට දින කිහිපයකට පෙර ඇති වූ ‘මේසැක්’ සුළි කුණාටුවෙන් චීනයේ පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් විශාල දේපළ හානි සිදුව තිබුණා. එම විනාශයෙන් තවමත් ගොඩ එමින් සිටින ජනතාවට ‘බාවි’ කුණාටුව තවත් අභියෝගයක් වී තිබෙනවා. ජපානයේ සකිෂිමා දූපත්වල ජනතාව තම නිවාස සහ වෙළඳසැල් සුළඟින් ආරක්ෂා කර ගැනීමට ජනේල ඇලවීම් සහ දැල් ආවරණ යෙදීම වැනි ආරක්ෂිත පියවර ගනිමින් සිටිනවා. කුණාටුවේ බලපෑමෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශයේ දැඩි වැසි සහ ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback