ස්පාඤ්ඤයේ ඓතිහාසික ග්රනාඩා නගරයට අඟහරුවාදා උදෑසන රික්ටර් මාපකයේ 4.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවුණා. මේ හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල ලබා තිබෙන අතර, නගරයේ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය ග්රනාඩා නගරයට කිලෝමීටර් 10ක් දකුණින් පිහිටි අල්හෙන්ඩින් නගරය ආසන්නයේ බව ස්පාඤ්ඤයේ ජාතික භූගෝලීය ආයතනය තහවුරු කළා. පසුගිය සිකුරාදා සිටම මෙම ප්‍රදේශයේ කුඩා භූ කම්පන මාලාවක් සිදුවෙමින් පැවති අතර, අඟහරුවාදා සිදුවූ මෙම කම්පනය ජනතාව දැඩි බියකට පත් කිරීමට සමත් වුණා.
භූ කම්පනයත් සමඟම නිවෙස්වල සිටි ජනතාව බියට පත්ව වීදිවලට දිව ආ අයුරු දැකගන්න ලැබුණා. කඩා වැටුණු සුන්බුන් හේතුවෙන් වාහන කිහිපයකටම හානි සිදුව තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙස සුප්‍රසිද්ධ අල්හම්බ්රා මාලිගය ඇතුළු කෞතුකාගාර සහ පරිපාලන ගොඩනැගිලි කිහිපයක් වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. එසේම, ග්රනාඩා මෙට්‍රෝ දුම්රිය සේවය ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් 30කට සීමා කර තිබෙනවා. තවදුරටත් පසු කම්පන ඇතිවීමේ අවදානමක් පවතින නිසා ජනතාවට ඉතාමත් විමසිල්ලෙන් සිටින ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා.

Discussion & Feedback