ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර වසර 70ක් තිස්සේ ජීවත් වුණු 87 හැවිරිදි මරිකාමන් නම් ආච්චි අම්මාව ඇයගේ නිවසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිදුවීම මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා. 1956 වසරේ සිට ඇයගේ පවුල කුලියට පදිංචිව සිටි මෙම නිවස, පසුව ආයෝජන සමාගමක් විසින් මිලදී ගැනීමෙන් පසුවයි මේ ගැටලුව පැන නැගුණේ. මීට පෙර යුරෝ 500ක්ව තිබූ කුලිය එකවර යුරෝ 2,650ක් දක්වා ඉහළ දැමීමට එම සමාගම කටයුතු කළ අතර, ඇයගේ මාසික විශ්‍රාම වැටුප වන යුරෝ 1,350න් එම මුදල ගෙවීමට ඇයට කිසිසේත්ම හැකියාවක් තිබුණේ නැහැ. අවසානයේදී ඇයව නිවසින් ඉවත් කිරීමට පොලිසිය පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සහ ක්‍රියාකාරීන් විශාල පිරිසක් ඇයට සහයෝගය දක්වමින් විරෝධතාවයේ නිරත වුණා.
මෙම සිදුවීම ස්පාඤ්ඤයේ පවතින දරුණු නිවාස අර්බුදයේ එක් පැතිකඩක් විදහා දක්වනවා. සමාගම් විසින් නිවාස මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ දැමීම නිසා සාමාන්‍ය ජනතාවට නිවාස අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. මරිකාමන්ට සහයෝගය දැක්වීමට ප්‍රසිද්ධ පුද්ගලයින් පවා පැමිණ සිටියත්, අදාළ සමාගම ඇයගේ කුලිය ගෙවීමට ඉදිරිපත් වූ පරිත්‍යාගශීලීන්ගේ මුදල් පවා ප්‍රතික්ෂේප කරමින් ඇයව නිවසින් ඉවත් කිරීමට කටයුතු කළා. මේ සිදුවීම හරහා නිවාස වෙළඳපොළේ පවතින අසංවේදී බව සහ ලාභය පමණක් මුල් කරගත් ආයෝජන ක්‍රමවේදයන් පිළිබඳව දැඩි විවේචනයක් මේ වන විට සමාජය තුළ මතුවෙමින් තිබෙනවා.

Discussion & Feedback