ලොව පුරා දැඩි කතාබහකට ලක් වූ ‘බොඩි වර්ල්ඩ්ස්’ (Body Worlds) ප්‍රදර්ශනයේ නිර්මාතෘවරයා වන ගන්තර් වොන් හේගන්ස් වයස අවුරුදු 81 දී අභාවප්‍රාප්ත වෙලා. මිය යන විට ඔහු වසර ගණනාවක් තිස්සේ පාකින්සන් රෝගයෙන් පීඩා විඳිමින් සිටි අතර, මොළයේ රුධිර වහනයක් හේතුවෙන් ජර්මනියේ හයිඩෙල්බර්ග් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලොව හැර ගියා. ‘ඩොක්ටර් ඩෙත්’ හෙවත් මරණයේ වෛද්‍යවරයා ලෙස ප්‍රසිද්ධියට පත් ඔහු, මියගිය මිනිසුන්ගේ සහ සතුන්ගේ සිරුරු විශේෂ රසායනික ක්‍රමවේදයකින් (Plastination) සංරක්ෂණය කර ප්‍රදර්ශනය කිරීම නිසා ලොව පුරා දැඩි විවේචනයට මෙන්ම ප්‍රසිද්ධියටත් පත් වුණා.
ඔහුගේ මෙම අමුතු නිර්මාණ ලොව පුරා මිලියන 58කට අධික පිරිසක් නරඹා තිබෙනවා. ඇතැම් පිරිස් ඔහුව විද්‍යාත්මක පුරෝගාමියෙක් ලෙස ඇගයීමට ලක් කළත්, තවත් පිරිස් මියගිය අයගේ සිරුරු වාණිජ අරමුණු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. විශේෂයෙන්ම 2002 වසරේදී ලන්ඩනයේදී ප්‍රසිද්ධියේ මෘත දේහයක් පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම ලොව පුරා විශාල ආන්දෝලනයක් ඇති කළා.
කෙසේ වෙතත්, ගන්තර් වොන් හේගන්ස් මිය යාමට පෙර ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ මරණයෙන් පසු තම සිරුර ද ප්ලාස්ටිනේෂන් ක්‍රමයට සංරක්ෂණය කරන ලෙසයි. ඔහුගේ පවුලේ අය පවසන්නේ ඔහුගේ එම අවසන් කැමැත්ත ඉටු කිරීමට තමන් කටයුතු කරන බවයි. වෛද්‍ය විද්‍යාව සහ මානව ශරීරය පිළිබඳව සාමාන්‍ය ජනතාවට අලුත් දෘෂ්ටිකෝණයකින් බැලීමට අවස්ථාව ලබා දුන් ඔහු, සැබවින්ම මතභේදාත්මක චරිතයක් ලෙස ඉතිහාසයට එක් වෙනවා.

Discussion & Feedback