ඉන්දියාවේ දිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පිහිටි පස් මහල් නේවාසිකාගාරයක් හදිසියේම කඩා වැටීමෙන් විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට වාර්තා වෙනවා. ඉරිදා දහවල් 1.30ට පමණ මෙම අනතුර සිදුවන විට ගොඩනැගිල්ල තුළ සිසුන් 50ක් පමණ සිටි බවයි ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ. මේ වන විට හය දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී ඇති අතර, එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. සුන්බුන් අතර සිරවී සිටින සිසුන් කිහිප දෙනෙකු දුරකථන ඇමතුම් ලබා දෙමින් උදව් ඉල්ලා සිටින බවත් වාර්තා වෙනවා.
මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ගොඩනැගිල්ලේ පහළ මාලයේ සිදුකළ අනවසර ඉදිකිරීම් කටයුතු මෙම කඩා වැටීමට හේතු වී ඇති බවයි. ආදායම වැඩි කර ගැනීමේ අරමුණින් බිම් මහලේ සිදුකළ කැණීම් කටයුතු නිසා ගොඩනැගිල්ලේ කණු දුර්වල වී තිබෙනවා. දැනටමත් සහන කණ්ඩායම් ඉතා වේගයෙන් සුන්බුන් ඉවත් කරමින් සිරවී සිටින අය බේරා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම අවට තිබූ තවත් ගොඩනැගිල්ලක් ද අනතුරට ලක්ව ඇති නිසා ආරක්ෂිත පියවරක් ලෙස එම ගොඩනැගිල්ලේ සිටි පිරිස ඉවත් කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. සිසුන්ගේ ජීවිත අනතුරේ හෙළූ මෙම නොසැලකිලිමත් ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දීය ශිෂ්‍ය සංගම් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback