ගුවන් සේවා ක්ෂේත්රයේ අති නවීන තාක්ෂණයක් වන හයිපර්සොනික් යානා අංශයෙන් මේ වන විට විශාල ප්රගතියක් අත්කර ගැනීමට ස්ට්රැටෝලෝන්ච් (Stratolaunch) සමාගම සමත් වෙලා තියෙනවා. ඔවුන්ගේ ස්වයංක්රීය ‘ටැලන්-ඒ’ (Talon-A) යානය මේ වන විට සාර්ථක ගුවන් ගමන් දහයකට වඩා වැඩි ප්රමාණයක් සම්පූර්ණ කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා. ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකටත් වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි මෙම යානය, හයිපර්සොනික් පරීක්ෂණ සාමාන්ය සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් ක්රියාත්මක වන බවයි එම සමාගමේ ප්රධාන විධායක නිලධාරී සැචරි ක්රෙවර් පවසන්නේ.
මෙම යානය අහසට මුදා හරින්නේ විශේෂයෙන් සකස් කළ ගුවන් යානයක ආධාරයෙන්. ‘රොක්’ (Roc) සහ ‘ස්පිරිට් ඔෆ් මොජාවේ’ වැනි දැවැන්ත ගුවන් යානා මගින් අහසට රැගෙන යන ටැලන්-ඒ යානය, ඉන්පසුව පැසිෆික් සාගරයට ඉහළින් මුදා හැරීම සිදු කරනවා. මෙම පරීක්ෂණ මගින් හයිපර්සොනික් පරිසරයකදී නවීන සංවේදක සහ ද්රව්යවල ක්රියාකාරිත්වය පිළිබඳව වටිනා දත්ත රැස් කරගන්නවා. විශේෂයෙන්ම ඇමරිකානු ආරක්ෂක අංශ වැනි ආයතන මෙම තාක්ෂණය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන්නේ, සාම්ප්රදායික මිසයිලවලට වඩා වේගවත් සහ වෙනස් කළ හැකි ගමන් මාර්ග සහිත යානා හඳුනා ගැනීම අපහසු නිසයි.
ටැලන්-ඒ කියන්නේ ආයුධයක් නෙවෙයි, එය හුදෙක් තාක්ෂණික පරීක්ෂණ සඳහා යොදා ගන්නා යානයක්. කෙසේ වෙතත්, ලෝකයේ හයිපර්සොනික් තාක්ෂණය දියුණු කිරීමේ තරගය මේ වන විට ඉතා උණුසුම් වෙලා තියෙනවා. රොකට් ලැබ් වැනි සමාගම් පවා මේ සඳහා විශාල කොන්ත්රාත්තු ලබා ගනිමින් සිටින අතර, ඉදිරියේදී මෙම ක්ෂේත්රයේ තවත් බොහෝ දියුණු පියවරයන් අපිට බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback