ලොව පුරා සංගීත ලෝලීන්ගේ ආදරය දිනාගත් ඔයසිස් (Oasis) සංගීත කණ්ඩායමේ සහෝදරයන් වන ලියම් සහ නෝයල් ගැලගර් වසර 16කට පසුව නැවතත් වේදිකාවට පැමිණි අයුරු අපට ඉක්මනින්ම සිනමාහල්වලින් දැකගන්න පුළුවන්. පසුගිය වසරේ පැවති ඔවුන්ගේ දැවැන්ත ‘Oasis Live ’25’ ලෝක සංචාරය පාදක කරගෙන නිර්මාණය කළ ‘Don’t Look Back in Anger’ නම් මෙම වාර්තා චිත්රපටයේ ටීසර් පටය මේ වන විට නිකුත් කර තිබෙනවා. ස්ටීවන් නයිට්ගේ අධ්යක්ෂණයෙන් හැඩවෙන මෙම චිත්රපටය සැප්තැම්බර් මාසයේදී IMAX සහ සිනමාහල් හරහා ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
මෙම වාර්තා චිත්රපටය තුළින් ඔයසිස් කණ්ඩායමේ පෙරහුරු දර්ශන, වේදිකාව පිටුපස සිදුවන දේවල් සහ ප්රසංගයේ සජීවී දර්ශන පමණක් නොව, වසර 20කට පසුව ලියම් සහ නෝයල් එකට වාඩි වී සිදුකරන විශේෂ සම්මුඛ සාකච්ඡාවකුත් ඇතුළත් කර තිබෙනවා. ඔවුන් දෙදෙනාගේ වෙන්වීම සහ නැවත එක්වීම පිළිබඳව ඉතාමත් සංවේදීව සහ විවෘතව මෙහිදී සාකච්ඡා කෙරෙනවා. පසුගිය වසරේ පැවති ඔවුන්ගේ ප්රසංග සඳහා ටිකට්පත් මිලදී ගැනීමට ලොව පුරා රසිකයන් විශාල උනන්දුවක් දැක්වූ අතර, එය ඇතැම් විට මතභේදයට පවා ලක් වුණා.
මෙම වාර්තා චිත්රපටය හුදෙක් ප්රසංගයක් නැරඹීමකට වඩා, ලියම් සහ නෝයල්ගේ පෞද්ගලික ජීවිත සහ ඔවුන්ගේ සංගීත ගමනේ අභ්යන්තරය දෙසට එබී බැලීමට රසිකයන්ට ලැබෙන කදිම අවස්ථාවක්. සංගීත ලෝලීන් බොහෝ කාලයක් බලා සිටි මෙම සුවිශේෂී නිර්මාණය ඩිස්නි ප්ලස් (Disney+) හරහාත් ඉදිරියේදී ප්රේක්ෂකයන්ට දැකගන්න පුළුවන් වේවි. ඔයසිස් රසිකයන්ට නම් මෙය සැබවින්ම මගහැරිය නොහැකි අත්දැකීමක් වනු නොඅනුමානයි.

Discussion & Feedback