ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ධවල මන්දිරයේ දකුණු පස ඇති තණබිම මත නව හෙලිපෑඩ් එකක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටින බව තහවුරු කර තිබෙනවා. මීට පෙර UFC ක්රීඩා ඉසව්වක් සඳහා යොදාගත් මෙම ස්ථානය, දැන් ‘මැරීන් වන්’ හෙලිකොප්ටර් යානා ගොඩබෑම සඳහා විශේෂිත වූ ග්රැනයිට් ගල්වලින් නිමවූ හෙලිපෑඩ් එකක් බවට පත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම ව්යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5 සිට 6 දක්වා වන වියදම දරන්නේ ලොක්හීඩ් මාටින් සමාගම විසින් බවත් ට්රම්ප් වැඩිදුරටත් සඳහන් කළා. නවීන හෙලිකොප්ටර් යානා නිසා තණකොළ විනාශ වන බැවින් මෙම ඉදිකිරීම අත්යවශ්ය බවයි ඔහු පවසන්නේ.
කෙසේ වෙතත්, ධවල මන්දිරයේ ඓතිහාසික ස්වරූපය වෙනස් කරමින් සිදුකරන මෙම ඉදිකිරීම් රැල්ල පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා එල්ල වෙමින් පවතිනවා. මීට පෙර ධවල මන්දිරයේ නැගෙනහිර කොටස කඩා ඉවත් කර නව බෝල්රූම් එකක් ඉදිකිරීම සහ රෝස උද්යානය වෙනස් කිරීම වැනි කටයුතු ද දැඩි විවේචනයට ලක් වුණා. ඇතැම් ව්යාපෘති සම්බන්ධයෙන් මේ වන විටත් නීතිමය ගැටලු මතු වී ඇති අතර, ඓතිහාසික ස්ථානවල මෙවැනි වෙනස්කම් සිදු කිරීම සම්බන්ධයෙන් මහජනතාව අතර ඇත්තේ එතරම් පැහැදීමක් නොවන බවයි පෙනී යන්නේ. කෙසේ වුවත්, ට්රම්ප් පවසන්නේ මෙම හෙලිපෑඩ් එක ධවල මන්දිරයේ ලාංඡනය සහිතව ඉතා අලංකාර ලෙස නිමවන බවයි.

Discussion & Feedback