ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර ප්‍රධාන වීදියකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම තැබීම මේ දිනවල ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා. හයිද්‍රාබාද්හි නානක්රාම්ගුඩා ප්‍රදේශයේ පිහිටි මෙම වීදිය, ඇමරිකානු තානාපති සෙරියෝ ගෝර් සහ තෙලන්ගානා නියෝජ්‍ය මහ ඇමති මල්ලු භට්ටි වික්රමර්කා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කළා. මේ සම්බන්ධයෙන් සිය සතුට පළ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තමන්ගේ ‘ටෘත් සෝෂල්’ ගිණුම හරහා ඉන්දියාවට ස්තූතිය පළ කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයෙකුට මෙවැනි ගෞරවයක් හිමි වූ පළමු අවස්ථාව මෙය බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.
මෙම වැඩසටහන ආරම්භ වුණේ තෙලන්ගානා මහ ඇමති ඒ. රේවාන්ත් රෙඩ්ඩි මහතාගේ විශේෂ සැලැස්මකට අනුවයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ මාර්ගවලට දේශපාලනඥයන්ගේ නම් තැබීම සිදුවුණත්, එය වෙනස් කරමින් ප්‍රසිද්ධ ආයතනික ආයතනවල නම් මාර්ගවලට තැබීමට ඔහු තීරණය කර තිබෙනවා. ඒ අනුව ගූගල්, මෙටා, ටීසීඑස් වැනි ආයතනවල නම් ඉදිරියේදී මාර්ගවලට යොදන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙම ‘ඩොනල්ඩ් ට්‍රම්ප් මාවත’ පිහිටා තිබෙන්නේ හයිද්‍රාබාද්හි බටහිර කොටසේ වන අතර, එහි ඇමරිකානු කොන්සල් කාර්යාලය සහ තවත් ප්‍රධාන පෙළේ තාක්ෂණික ආයතන රැසක් පිහිටා තිබීම විශේෂත්වයක්. පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ‘තෙලන්ගානා රයිසින් ග්ලෝබල් සමුළුවට’ සමගාමීව මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමඟ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු තවත් වේගවත් වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback