ඇමරිකානු රජයේ වියදම් අඩු කිරීමේ අරමුණින් එලොන් මස්ක්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ‘ඩෝජ්’ (Doge) ආයතනය විසින් සිදු කළා යැයි කියන ඩොලර් බිලියන 110ක ඉතිරිකිරීම් පිළිබඳ ප්‍රකාශයන් අසත්‍ය හෝ සාක්ෂි නොමැති ඒවා බව එරට රජයේ ගිණුම්කරණ කාර්යාලය (GAO) විසින් සිදු කළ විමර්ශනයකින් හෙළි වෙලා තියෙනවා. ඔවුන්ගේ ‘Wall of Receipts’ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කළ මෙම ඉතිරිකිරීම්වල විනිවිදභාවයක් නැති බවත්, 96%ක්ම ගණනය කළ ආකාරය පිළිබඳ කිසිදු නිවැරදි තොරතුරක් ඔවුන් සපයා නැති බවත් වාර්තාවේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම, දැනටමත් අවසන් වීමට නියමිතව තිබූ ගිවිසුම් සහ කිසිදා අවසන් නොකළ ආරක්ෂක අංශ කොන්ත්‍රාත්තු පවා ඉතිරිකිරීම් ලෙස ඔවුන් පෙන්වා දී තිබීම මෙහි ඇති බරපතළම කරුණක්.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමයේදී රජයේ වියදම් කපා හැරීමේ අරමුණින් පිහිටවූ මෙම ආයතනය පසුගිය මාසයේදී වසා දැමුවා. එලොන් මස්ක් මුලින් පොරොන්දු වුණේ වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන 2ක් ඉතිරි කරන බව වුණත්, අවසානයේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් බොහෝමයක් අසාර්ථක වී තිබෙනවා. ඇතැම් සේවකයන් සේවයෙන් පහ කිරීමෙන් පසු නැවත බඳවා ගැනීමට පවා රජයට සිදු වුණා. සෙනෙට් සභික ගැරී පීටර්ස් පවසන පරිදි, ‘ඩෝජ්’ යනු ඇමරිකානු ජනතාව නොමඟ යැවූ සහ රජයේ කාර්යක්ෂමතාවයට හානි කළ ඉතා අසාර්ථක සහ වංචනික උත්සාහයක්. මස්ක් පවා පසුව පවසා තිබුණේ මෙය යම් තරමකට සාර්ථක වුවත්, තමන් නැවත මෙවැනි දෙයකට සම්බන්ධ නොවන බවයි.

Discussion & Feedback