ත්‍රිකුණාමලය රෝහලේදී වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකළ සැත්කමකින් කිලෝග්‍රෑම් 3.1ක බරකින් යුත් දැවැන්ත මුත්‍රාශ ගලක් ඉවත් කිරීමට සමත් වෙලා තියෙනවා. මේ සැත්කම සිදුකරලා තියෙන්නේ 55 හැවිරිදි පුද්ගලයෙකුටයි. ඔහු රෝහලට ඇතුළත් කරලා තියෙන්නේ අංශභාග රෝගී තත්ත්වයක් හේතුවෙන් වුණත්, ප්‍රතිකාර ලබන අතරතුරදී ඔහුට මුත්‍රා පිටකිරීමේ අපහසුතාවයක් ඇති බව වෛද්‍යවරුන් නිරීක්ෂණය කරලා තියෙනවා. පසුව සිදුකළ පරීක්ෂණවලදී තමයි මේ දැවැන්ත ගල සොයාගෙන තියෙන්නේ.
මේ ගල ප්‍රමාණයෙන් පැස්බර බිත්තරයකට සමාන වන අතර, එය බරින් අලුත උපන් බිළිඳෙකුට සමාන වීම විශේෂත්වයක්. සැත්කමට නායකත්වය දුන් වෛද්‍ය ප්රහලදන් බාලක්‍රිෂ්ණන් මහතා පවසන විදිහට, මෙය ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මුත්‍රාශ ගල ලෙස සැලකෙනවා. මීට පෙර ලෝක වාර්තාව පිහිටුවා තිබුණේ බ්‍රසීලයේ රෝගියෙකුගෙන් ඉවත් කළ කිලෝග්‍රෑම් 1.9ක ගලක් මගින්. වෛද්‍යවරුන් පවසන්නේ මේ ගල වසර 5ත් 10ත් අතර කාලයක් තිස්සේ රෝගියාගේ සිරුරේ වර්ධනය වෙන්නට ඇති බවයි.
දැනට රෝගියා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අතර, ඔහු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. මුත්‍රාශයේ ඉතිරි වන මුත්‍රා ඛනිජ ලවණ බවට පත්වීමෙන් මෙවැනි ගල් සෑදෙන බව වෛද්‍යවරුන් පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 4කට වඩා විශාල ගල් ‘දැවැන්ත’ ගල් ලෙස සැලකෙන අතර, මේ රෝගියාගේ ගල සෙන්ටිමීටර 17ක දිගකින් යුක්ත වීම වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී සිදුවීමක් විදිහටයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback