චීන දේශපාලන බලවතුන් විවේචනය කරමින් පොත් අලෙවි කිරීම නිසා ලොව පුරා කතාබහට ලක්වූ හොංකොං ජාතික පොත් අලෙවිකරු ලෑම් වින්ග්-කී වයස අවුරුදු 70ක්ව තිබියදී තායිවානයේදී අභාවප්‍රාප්ත වුණා. පෙනහළු පිළිකා රෝගයකින් පීඩා විඳි ඔහු තායිපේහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ. 2015 වසරේදී චීන බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන දින 400කට අධික කාලයක් රඳවා තබා ගත් අතර, පසුව ඔහු හොංකොං වෙත යෝජනා වූ මතභේදාත්මක පිටුවහල් කිරීමේ පනතට බියෙන් 2019 වසරේදී තායිවානය වෙත පලා ගියා.
තායිවානයේදී ඔහු නැවතත් ‘කොස්වේ බේ’ නමින් පොත් සාප්පුවක් විවෘත කළ අතර, එය ප්රජාතන්ත්රවාදය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සංකේතයක් බවට පත්වුණා. ලෑම්ගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් තායිවාන ජනාධිපති ලායි චිං-ටේ පවසා තිබුණේ, ඔහු අධිකාරිවාදී මර්දනයට එරෙහිව නිහඬ නොවී තම අදහස් වෙනුවෙන් නිර්භීතව පෙනී සිටි අයෙක් බවයි. තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටීම සහ අන් අයට පාවා නොදීම තම ජීවිතයේ වටිනාකම බව ඔහු මිය යාමට පෙර අවසන් මාධ්‍ය සාකච්ඡාවකදීත් සඳහන් කර තිබුණා. ඔහුගේ මෙම අභාවය හොංකොංහි නිදහස වෙනුවෙන් සටන් කළ බොහෝ දෙනෙකුට විශාල පාඩුවක් ලෙසයි සැලකෙන්නේ.

Discussion & Feedback