ලෝක ප්රසිද්ධ ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ඩිස්නිලන්තය තමන්ගේ 71 වැනි උපන්දිනයට ආසන්න වෙද්දී අතිවිශේෂ සන්ධිස්ථානයක් පසුකරන්න සමත් වුණා. ඒ තමයි ඔවුන්ගේ දොරටු හරහා ඇතුළු වූ බිලියන වැනි අමුත්තා පිළිගැනීම. ඇරිසෝනා ප්රාන්තයේ පදිංචි අට හැවිරිදි ඇන්ඩ්රෙස් රොබ්ලස් තමයි මේ වාසනාවන්ත අමුත්තා වුණේ. තමන්ගේ උපන්දිනය සැමරීමට පවුලේ අය සමඟ ඩිස්නිලන්තයට ගිය මේ කුඩා දරුවාට සහ ඔහුගේ පවුලේ අයට උත්සවශ්රීයෙන් යුතුව විශේෂ පිළිගැනීමක් ලැබුණා. එහිදී ඔවුන්ට ‘ජනගහනය බිලියනයයි’ යනුවෙන් සඳහන් නව පුවරුවක් නිරාවරණය කිරීමටත් අවස්ථාව ලැබුණා.
මේ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් රොබ්ලස් පවුලට දවස පුරාම නොමිලේ VIP සංචාරක මඟපෙන්වන්නෙක් ලබාදීමට ඩිස්නිලන්තය කටයුතු කළා. ඒ වගේම වෝල්ට් ඩිස්නිගේ පෞද්ගලික නිවාසය නැරඹීමට සහ අලුතින්ම විවෘත කළ ‘සෝරින් ඇක්රොස් ඇමරිකා’ වැනි අත්දැකීම් රැසක් විඳගන්නත් ඔවුන්ට හැකි වුණා. 1955 ජූලි 18 වැනිදා ආරම්භ වුණු ඩිස්නිලන්තය අදටත් ලෝකයේ ජනප්රියම තේමා උද්යානයක් විදිහට පවතිනවා.
මේ අතර, ටිකට් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පවතින විවේචන ගැනත් ඩිස්නි සමාගමේ ප්රධාන විධායක නිලධාරී ජොෂ් ඩැමාරෝ අදහස් දක්වලා තිබුණා. ඔහු පවසන්නේ ඩිස්නිලන්තයට පැමිණීම පවුල් සඳහා විශාල ආයෝජනයක් බවත්, සෑම අමුත්තෙකුටම තමන්ගේ මුදලට සරිලන හොඳම අත්දැකීම ලබාදීම තම අරමුණ බවත්ය. අමුත්තන්ගේ තෘප්තිය සහ නැවත පැමිණීමේ අභිප්රාය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback