ලෝක ප්රසිද්ධ ඩිස්නි සමාගම මේ දිනවල තමන්ගේ වියදම් අඩු කර ගැනීමේ අරමුණින් විශාල ප්රතිසංවිධානයක නිරත වෙලා ඉන්නවා. ඒ අනුව, ආයතනයේ අධ්යක්ෂ මට්ටමේ සිට ඉහළ නිලධාරීන් වෙනුවෙන් ‘ස්වේච්ඡා මුල් විශ්රාම ගැනීමේ වැඩසටහනක්’ (VERO) හඳුන්වා දෙන්න ඔවුන් පියවර අරන් තියෙනවා. මේ වැඩසටහන යටතේ අවුරුදු 50ක් සම්පූර්ණ වූ සහ අවම වශයෙන් වසර 10ක් සේවය කරපු නිලධාරීන්ට විශේෂ විශ්රාම පැකේජයක් ලබාගන්න පුළුවන්. මේ සඳහා සුදුසුකම් ලබන අයට වසරක වැටුපට සමාන වන්දි මුදලක්, සෞඛ්ය රක්ෂණ පහසුකම් සහ ඩිස්නි තේමා උද්යානවලට ජීවිත කාලයටම නොමිලේ ඇතුළු වීමේ අවස්ථාව වගේ වරප්රසාද රැසක් හිමි වෙනවා.
ඇත්තටම මේ පියවර ගන්නේ පසුගිය කාලයේ ඩිස්නි ආයතනය තුළ සිදුවුණු රැකියා කප්පාදුවලට අමතරවයි. ආයතනයේ වියදම් අඩු කරලා ඉදිරි වර්ධනය සඳහා ඉඩකඩ හදාගන්න තමයි මේ වගේ තීරණ ගන්නේ කියලා ඩිස්නි ප්රධානීන් පවසනවා. මේ විශ්රාම ගැනීමේ අවස්ථාව ලබාගන්නා අයට වෙනත් රැකියාවකට යන්න කිසිම බාධාවක් නැති අතර, ඔවුන්ට ලැබෙන වන්දි මුදල් අහිමි වෙන්නෙත් නැහැ. කෙසේ වෙතත්, මේ වැඩසටහනට සහභාගී වෙනවාද නැද්ද කියන එක සම්පූර්ණයෙන්ම අදාළ නිලධාරීන්ගේ කැමැත්ත මත සිදුවන්නක් බවයි ඩිස්නි මානව සම්පත් අංශය පවසන්නේ. ඉදිරියේදීත් ආයතනයේ වියදම් අඩු කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්රියාත්මක වන බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback