ලෝක ප්රකට ඩිස්නි සමාගම මේ දිනවල සිය ආයතනික ව්යුහයේ විශාල වෙනස්කම් කිහිපයක් සිදු කරමින් සිටිනවා. ඒ අනුව, ඔවුන්ගේ විවිධ අංශවල සේවය කළ සේවකයින් සිය ගණනක් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම පිකාර් (Pixar) සහ නැෂනල් ජියෝග්රැෆික් (National Geographic) වැනි ජනප්රිය අංශවලට මෙම තීරණය දැඩි ලෙස බලපා ඇති බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව, එන්.එෆ්.එල් (NFL) සමඟ ඇති කරගත් ගිවිසුමක් හේතුවෙන් ඊ.එස්.පී.එන් (ESPN) ආයතනයෙන්ද සේවකයින් කිහිප දෙනෙකු ඉවත් කර තිබෙනවා.
ඩිස්නි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් සහ ස්ටූඩියෝස් වැනි අංශවල සේවකයින්ටත් මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, ඩිස්නි එන්ටර්ටේන්මන්ට් සමූහය තුළ පමණක් සේවකයින් සියයකට ආසන්න පිරිසක් ඉවත් කර ඇති බව සඳහන්. මේ පිළිබඳව අදහස් දක්වමින් ඩිස්නි ප්රධාන විධායක නිලධාරී ජොෂ් ඩි’අමාරෝ පවසන්නේ, සමාගමේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින්, ලොව පුරා සිටින රසිකයින් බලාපොරොත්තු වන නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය අඛණ්ඩව ලබා දීම සඳහා මෙම තීරණය ගත් බවයි. වේගයෙන් වෙනස් වන ලෝකයේ අභියෝගවලට මුහුණ දීම සඳහා වඩාත් දක්ෂ සහ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ සේවක පිරිසක් ගොඩනැගීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම සේවක කප්පාදුව සම්බන්ධයෙන් ආයතනය තුළින් වැඩිදුර නිවේදන නිකුත් කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි ආරංචි මාර්ග පවසන්නේ. පසුගිය කාලය පුරාම සමාගමේ වියදම් අවම කරමින් මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමට ඩිස්නි කළමනාකාරීත්වය විවිධ පියවර ගත් අතර, මෙම නවතම තීරණයත් එම ක්රියාවලියේම කොටසක් ලෙස දකින්න පුළුවන්.

Discussion & Feedback