මීට වසර මිලියන 66කට කලින් පෘථිවිය මතට කඩා වැටුණු දැවැන්ත ග්රහකයක් නිසා ඩයිනෝසෝරයන් වඳවී ගිය බව අපි කවුරුත් දන්නා කරුණක්. බොහෝ කාලයක් විද්යාඥයන් හිතාගෙන හිටියේ මේ සිදුවීමෙන් පස්සේ ඇති වුණු දීර්ඝ ශීත සෘතුව නිසා ඔවුන් මිය ගියා කියලා. හැබැයි අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙලා තියෙන්නේ ඊට වඩා භයානක දෙයක්. මේ ග්රහක ගැටුමෙන් පස්සේ පෘථිවිය පුරාම ඇති වුණු දැවැන්ත ගිනි කුණාටු නිසා ඩයිනෝසෝරයන් පැය කිහිපයක් ඇතුළත අළු වී ගිය බවයි දැන් විද්යාඥයන් කියන්නේ.
මේ ග්රහකය ගැටුණු වෙලාවේ වායුගෝලයට එකතු වුණු සිහින් දූවිලි තට්ටුවක් පෘථිවිය වටා ආවරණයක් වගේ පැතිරිලා තියෙනවා. මේ දූවිලි නිසා තාපය පිටතට යන්න බැරුව පෘථිවි පෘෂ්ඨය මත අධික උෂ්ණත්වයක් ඇති වෙලා තියෙනවා. මේ උෂ්ණත්වය මිනිසුන්ට දරාගන්න පුළුවන් උපරිම තාප මට්ටම වගේ 17 ගුණයකින් වැඩියි කියලා තමයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. මේ නිසා පොළොව මතුපිට හිටපු සත්තුන්ට බේරෙන්න කිසිම ඉඩක් ලැබිලා නැහැ.
ඇත්තටම මේ තාපය නිසා තණකොළ සහ කුඩා ශාක ගිනි ගන්නා මට්ටමටම උණුසුම් වෙලා තියෙනවා. ඒත් භූගතව හෝ ජලය ඇතුළේ හිටපු සත්තුන්ට නම් යම්කිසි වාසනාවක් තිබුණා කියලා තමයි පේන්නේ. මේ ගිනි කුණාටුවලින් පස්සේ තමයි ඒ දූවිලි තට්ටුව නිසාම හිරු එළිය පෘථිවියට නොලැබී ගිහින් දීර්ඝ ශීත සෘතුවක් ඇති වුණේ. කොහොම වුණත් මේ ගිනි කුණාටු පිළිබඳ සාක්ෂි දැනට හම්බවෙලා තියෙන්නේ උතුරු ඇමරිකාවෙන් විතරයි. ඒ නිසා මුළු ලෝකයම මේ ව්යසනයට ලක් වුණාද කියන එක ගැන තවමත් පර්යේෂණ සිද්ධ වෙනවා.

Discussion & Feedback