ලෝක ප්‍රකට දියමන්ති සමාගමක් වන ‘ඩී බියර්ස්’ (De Beers) ආයතනය, දකුණු අප්‍රිකාවේ පිහිටි ඔවුන්ගේ ප්‍රධානතම දියමන්ති පතල වන ‘වෙනෙෂියා’ පතලේ වැඩකටයුතු වසර දෙකක කාලයකට අත්හිටුවීමට තීරණය කරලා තියෙනවා. මේ වන විට ලෝක වෙළඳපොලේ ස්වභාවික දියමන්ති සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස පහත වැටීම සහ විද්‍යාගාර තුළ නිපදවන කෘතිම දියමන්තිවලට පාරිභෝගිකයන් වැඩි කැමැත්තක් දැක්වීම මේ තීරණයට ප්‍රධාන හේතුව වෙලා තියෙනවා. විශේෂයෙන්ම චීනය වැනි රටවල දියමන්ති මිලදී ගැනීම් අඩුවීම නිසා කර්මාන්තයම දැඩි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා.
වෙනෙෂියා පතල කියන්නේ දකුණු අප්‍රිකාවේ සමස්ත දියමන්ති නිෂ්පාදනයෙන් 40%ක්ම සපයන ප්‍රධාන මධ්‍යස්ථානයක්. මෙහි සේවකයෝ 4,000කට අධික පිරිසක් සේවය කරන නිසා මේ තීරණයත් එක්ක රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුත් මතුවෙලා තියෙනවා. ඩී බියර්ස් ආයතනය පවසන්නේ, මේ වසර දෙකක කාලය තුළ පතලේ යටිතල පහසුකම් වඩාත් කාර්යක්ෂම කරමින්, වෙළඳපොළ තත්ත්වයන් යහපත් වූ පසු නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත්, දශක ගණනාවක් තිස්සේ ‘දියමන්තියක් යනු සදාකාලිකයි’ යන තේමාවෙන් ලෝකයම දිනාගත් මෙම දැවැන්ත සමාගම, වර්තමානයේ පවතින ආර්ථික සහ පාරිභෝගික වෙනස්කම් හමුවේ සිය ව්‍යාපාරික උපායමාර්ග වෙනස් කරමින් සිටින බව පැහැදිලියි.

Discussion & Feedback