2026 වසරේ පැවැත්වීමට නියමිත එමි සම්මාන උළෙලේ ප්රධාන විකාශයෙන් රංගන, අධ්යක්ෂණ සහ තිර රචනා අංශවලට අයත් කාණ්ඩ පහක් ඉවත් කිරීමට රූපවාහිනී ඇකඩමිය ගත් තීරණයට හොලිවුඩ් ක්ෂේත්රයේ ප්රධාන සංගම් තුනක් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා. ඇමරිකානු අධ්යක්ෂවරුන්ගේ සංගමය (DGA), ලේඛකයන්ගේ සංගමය (WGA) සහ නළු නිළියන්ගේ සංගමය (SAG-AFTRA) ඒකාබද්ධ ප්රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, මෙම තීරණය මගින් සම්මාන උළෙලේ ගෞරවය සහ කලාකරුවන්ගේ දායකත්වය අවතක්සේරු කරන බවයි. සම්මාන උළෙලක සැබෑ අරමුණ විය යුත්තේ කලාකරුවන්ගේ දක්ෂතා ඇගයීම මිස, වාණිජමය වාසි තකා ඔවුන්ගේ දායකත්වය නොසලකා හැරීම නොවන බව ඔවුන් අවධාරණය කරනවා.
රූපවාහිනී ඇකඩමිය මෙම පියවර ගෙන ඇත්තේ ප්රේක්ෂක ආකර්ෂණය වැඩිකරගෙන වැඩි ආදායමක් උපයා ගැනීමේ අරමුණින් වුවත්, මීට පෙර 2023 වසරේදීත් මෙවැනිම උත්සාහයක් ගත් අවස්ථාවේදී ලේඛකයන්ගේ සංගමය ඇතුළු පාර්ශවයන්ගේ දැඩි විරෝධය නිසා එම තීරණය ආපසු හැරවීමට ඔවුන්ට සිදුවුණා. මෙවරත් මෙම සංගම් පවසන්නේ, ප්රධාන විකාශනය තුළ අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු සම්මාන කාණ්ඩ සංඛ්යාවක් පවතින බවත්, ඒවා ඉවත් කිරීමෙන් කලාකරුවන්ට සිදුවන අසාධාරණයට එරෙහිව තමන් දැඩිව පෙනී සිටින බවත්ය. ඉදිරියේදී රූපවාහිනී විකාශන ගිවිසුම් අලුත් කර ගැනීමේදී මෙම තීරණය බලපෑ හැකි බැවින්, ඇකඩමිය සිය තීරණය නැවත සලකා බලනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback