නීතිවිරෝධී ලෙස රටට ගෙන එන, බදු නොගෙවූ හෝ වටිනාකම අඩු කර පෙන්වා ආනයනය කරන භාණ්ඩ අලෙවි කිරීමෙන් වළකින ලෙස කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වෙළඳුන්ට දැඩි ලෙස අවවාද කරනවා. භාණ්ඩ මිලදී ගැනීමේදී නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ විස්තර සහිත නිවැරදි ඉන්වොයිසියක් ලබාගැනීම අනිවාර්ය බවත්, එසේ නොමැතිව භාණ්ඩ අලෙවි කිරීම නීති විරෝධී බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. දැනටමත් බලධාරීන් විසින් වෙළඳපොලේ ඇති භාණ්ඩවල මූලාරම්භය සොයා බැලීම සඳහා ‘බැක්වර්ඩ් ඕඩිට්’ (backward audit) හෙවත් පසුගාමී විගණන ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා.
මෙම පියවර ගෙන තිබෙන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී ආලේපන සහ පාවහන් තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. වැටලීම්වලට ලක්වූ වෙළඳසැල් 84කම නිසි බිල්පත් හෝ ලියකියවිලි නොතිබීම බරපතල ගැටලුවක්. විශේෂයෙන්ම ‘ඔන් ඇපෲවල්’ (on approval) බිල්පත් නමින් නීතිමය පිළිගැනීමක් නැති ලියකියවිලි භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, සැක කටයුතු ලෙස අඩු මිලට අලෙවි කරන භාණ්ඩ පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශයට පැමිණිලි කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. වෙළඳුන් තමන්ගේ ව්‍යාපාර කටයුතු නීත්‍යානුකූලව පවත්වාගෙන යාම පාරිභෝගිකයාගේ මෙන්ම රටේ ආර්ථිකයේත් ආරක්ෂාවට වැදගත් වන බව මෙහිදී අවධාරණය කෙරෙනවා.

Discussion & Feedback