ලොව පුරා බොහෝ දෙනෙක් ආදරය කළ ‘සැව්ඩ් බයි ද බෙල්’ (Saved by the Bell) ටෙලි කතා මාලාවේ විදුහල්පති ‘මිස්ටර් බෙල්ඩිං’ ලෙස රඟපෑ ප්රවීණ නළු ඩෙනිස් හැස්කින්ස් වයස අවුරුදු 75ක්ව තිබියදී අභාවප්රාප්ත වී තිබෙනවා. ඔහුගේ අභාවය පිළිබඳ පුවත ඔහුගේ කළමනාකරු ජේ ෂැක්ටර් විසින් තහවුරු කර ඇති අතර, මෙය ඉතාමත් කනගාටුදායක පුවතක් බව ඔහු පවසනවා. ඩෙනිස් කියන්නේ තමන්ගේ රසිකයන්ට අසීමිතව ආදරය කළ, ඉතාමත් කරුණාවන්ත පුද්ගලයෙක් බවත්, ඔහු වසර 20කට අධික කාලයක් තමන්ගේ සමීපතම මිතුරෙකු ලෙස සිටි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත්, ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.
ඩෙනිස් හැස්කින්ස් සිය රංගන දිවිය තුළ ඉතාමත් ජනප්රිය චරිත රැසකට පණ පෙව්වා. 1989 වසරේ ‘ගුඩ් මෝනිං මිස් බ්ලිස්’ කතා මාලාවෙන් ආරම්භ වූ ඔහුගේ ගමන, පසුව ‘සැව්ඩ් බයි ද බෙල්’ සහ ‘සැව්ඩ් බයි ද බෙල්: ද නිව් ක්ලාස්’ හරහා ලොව පුරා රසිකයන් අතරට ගියා. ඔහු මේ චරිතය වසර ගණනාවක් පුරා ඉතා සාර්ථකව රඟපෑ අතර, එය අදටත් බොහෝ දෙනාගේ මතකයේ රැඳී තිබෙනවා. මීට අමතරව ‘මැඩ් මෙන්’, ‘හවු අයි මෙට් යුවර් මදර්’ සහ ‘නිව් ගර්ල්’ වැනි ජනප්රිය නිර්මාණ රැසකටම ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඔහුගේ වියෝව ලෝක සිනමාවට සහ ටෙලි නාට්ය ක්ෂේත්රයට විශාල පාඩුවක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback