ඉදිරියේදී ලැබීමට නියමිත වැසි සමඟ රට තුළ නැවතත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අනතුරු අඟවනවා. මීට පෙර දිනකට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,200ත් 1,300ත් අතර ඉහළ අගයක පැවතියත්, මේ වන විට එය 159ක් වැනි අඩු මට්ටමකට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත්, මෙය රෝගය සම්පූර්ණයෙන්ම තුරන් වීමක් ලෙස නොසිතන ලෙසත්, දිවයින පුරා තවමත් මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගැනීමට ලැබෙන බවත් ඒ මහතා පවසනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය සඳුදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. පළාත් හතක්, දිස්ත්‍රික්ක 15ක් සහ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත කණ්ඩායම් යොදවා තිබෙනවා. විශේෂයෙන්ම ඊසාන දිග මෝසම් වැසි සහ එල් නිනෝ තත්ත්වයන් නිසා ඇතිවිය හැකි වැසි සහිත කාලගුණයට පෙර පරිසරය පිරිසිදු කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 97,848ක් සහ මරණ 74ක් වාර්තා වී තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින්. තවමත් අධි අවදානම් කලාප 35ක් හඳුනාගෙන ඇති නිසා, තම නිවස සහ අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback