මේ දිනවල ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය ඉතා වේගයෙන් පැතිර යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වසරේ ජූලි 14 වනදා වන විට දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,235ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ සතියකට සාමාන්‍යයෙන් රෝගීන් 2,677ක් පමණ අලුතින් වාර්තා වන බවයි. දැනට රටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 175ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එය සමස්ත රෝගීන්ගෙන් 52.6%ක්. විශේෂයෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් වාර්තා වන අතර, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. නිරිතදිග මෝසම් වැසි සමඟ ජූනි මාසයේ සිට රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර, ජූලි මාසයේ මැද භාගය වන විටත් රෝගීන් 15,856ක් වාර්තා වී අවසන්. දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලින්ද මේ වන විට රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.
මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ පරිසරය පිරිසිදුව තබා ගැනීම මේ රෝගය පාලනය කිරීමට ඇති එකම විසඳුම බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරනවා. එනිසා, තමන්ගේ නිවස සහ අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙසත්, රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback