ලැස් වේගාස් සිට ඇට්ලන්ටා බලා පියාසර කරමින් තිබූ ඩෙල්ටා ගුවන් යානයක මගියෙකු විසින් ව්‍යාජ වයි-ෆයි ජාලයක් නිර්මාණය කිරීමේ සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. මේ මගියා ගුවන් යානයේ තිබුණු නිල වයි-ෆයි ජාලය වගේම පෙනෙන විදිහට ව්‍යාජ ජාලයක් හදලා තියෙන්නේ වෙනත් මගීන්ව නොමග යවන්නයි. මේ ගැන දැනගත්ත ගමන්ම ගුවන් නියමුවන් වහාම ගුවන් ගමනාගමන පාලක මැදිරියට මේ ගැන දැනුම් දීලා තියෙනවා. ආරක්ෂිත පියවරක් විදිහට ගුවන් කාර්ය මණ්ඩලය විනාඩි තිහක පමණ කාලයකට යානයේ තිබුණු සැබෑ වයි-ෆයි ජාලය විසන්ධි කරන්නත් පියවර අරන් තියෙනවා.
ඩෙල්ටා ගුවන් සේවය පවසන විදිහට මේ සිද්ධිය නිසා ගුවන් යානයේ ආරක්ෂාවට හෝ පද්ධතිවලට කිසිම බලපෑමක් වෙලා නැහැ. මේ වගේ ව්‍යාජ ජාලයක් හදන්න ‘වයි-ෆයි පයිනැපල්’ වගේ උපකරණ පාවිච්චි කරන්න පුළුවන් බවයි තාක්ෂණික විශේෂඥයන් කියන්නේ. පසුගිය දවස්වල ලැස් වේගාස්වල පැවැත්වුණු සයිබර් ආරක්ෂණ සමුළුවකට සහභාගි වෙලා ආපු පිරිසක් මේ ගුවන් යානයේ හිටපු නිසා, මේ සිද්ධිය පිටුපස ඉන්නේ කවුද කියලා තවමත් හරියටම කියන්න බැහැ. කොහොම වුණත්, මේ ගැන ෆෙඩරල් බලධාරීන් එක්ක එකතු වෙලා පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ඩෙල්ටා සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback