කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අතිශය කූට ලෙස සඟවාගෙන ආ රුපියල් මිලියන 110ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක්ව ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. මොහු වෘත්තියෙන් කෘෂිකාර්මික ඉංජිනේරුවෙක් වන අතර, පසුගිය ජූලි 22 වෙනිදා සියෙරා ලියොන් සිට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණා. මුලින්ම ඔහු ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ ඔහුගේ අත් බෑගය පරීක්ෂා කළත් සැක සහිත කිසිවක් හමු වී තිබුණේ නැහැ. නමුත් ඔහුගේ ප්‍රධාන ගමන් මල්ල එදින නොලැබුණු නිසා ඔහුට ගුවන්තොටුපළෙන් පිටව යන්න අවසර ලැබුණා.
පසුව ජූලි 24 වෙනිදා සවස එම ප්‍රමාද වූ ගමන් මල්ල ලබා ගැනීමට ඔහු නැවතත් ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා. එහිදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැකපිට එම ගමන් මල්ල එක්ස්-රේ පරීක්ෂාවකට ලක් කළා. එහිදී ගමන් මල්ල තුළ තිබූ ෆයිල් කවර දෙකක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් පැකට් හතරක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වුණා. මෙලෙස අත්අඩංගුවට ගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 2.198ක් වන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 109.9ක් ලෙස ගණන් බලා තියෙනවා.
මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, මේ ජාවාරම පිටුපස සිටින ජාලය ගැන සොයා බැලීමට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Discussion & Feedback