අවුරුදු 16ක් පිරෙනකොටම පාසල් අධ්‍යාපනය අත්හැරලා යන පිරිමි දරුවන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දෙනවා. කාන්තාවන්, තරුණ තරුණියන් සහ ළමුන්ගේ සේවා නියුක්තිය සම්බන්ධ පනත් කෙටුම්පතක දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇය මේ ගැන කතා කළා. දරුවන් අවුරුදු 13ක සම්පූර්ණ පාසල් අධ්‍යාපනයක් නොලබා රැකියා වෙළඳපොළට පිවිසීමෙන් ඔවුන් විවිධ සූරාකෑම්වලට සහ අවදානම්වලට ලක්වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා 2026 වසරේ සිට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා දරුවන්ව පාසල තුළම රඳවා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත සහ සහයෝගී පරිසරයක් ගොඩනැගීමට රජය බලාපොරොත්තු වෙනවා.
මේ වෙනුවෙන් 2026 වසරේදී ප්‍රාථමික පාසල් යටිතල පහසුකම් දියුණු කරන්න රුපියල් බිලියන 1.9ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම පාසල් තුළ දරුවන්ට අවශ්‍ය උපදේශන සහ මනෝවිද්‍යාත්මක සහය ලබාදෙන්න ‘C2’ මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් පියවර ගන්නවා. ළමා ආරක්ෂණ ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කරන්නත් රජය කටයුතු කරනවා. ඒ වගේම මේ පාසල් නිවාඩු කාලයේදී දරුවන් මත අධික අධ්‍යාපනික බරක් පටවන්න එපා කියලා අගමැතිනිය දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. දරුවන්ට විවේකය සහ සුවය අවශ්‍ය බවත්, ඔවුන්ගේ මානසික සුවතාව ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඇය අවධාරණය කරනවා.

Discussion & Feedback