පිලිපීනයේ සංචාරක කලාපයක් වන කොරොන් දූපත ආසන්නයේදී මගී ප්රවාහන නෞකාවක් ගිනිගැනීමෙන් මියගිය පිරිස 35ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැනිලා නුවර සිට ගමන් ආරම්භ කළ මෙම නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 130කට අධික පිරිසක් සිට ඇති අතර, ගින්න හටගන්නා අවස්ථාවේදී බොහෝ දෙනෙක් නින්දේ පසුවීම නිසා මෙම ඛේදවාචකය වඩාත් දරුණු වී තිබෙනවා. මේ වන විට 43 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර, තවත් 50කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවයි වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.
නෞකාවේ පැවති අධික උෂ්ණත්වය සහ විෂ වායු හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට නෞකාවට ඇතුළු වීමට දින දෙකක් පමණ ගත වුණා. මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ නෞකාවේ භාණ්ඩ ගබඩාවෙන් ගින්න ආරම්භ වී ඇති බවයි. ඇතැම් මගීන් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිටීම සහ නෞකාවේ මගීන් ලැයිස්තුවේ විෂමතා තිබේද යන්න පිළිබඳව මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නෞකාවේ හිමිකාර සමාගම පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
ගින්නෙන් දිවි ගලවා ගත් මගියෙකු පවසන්නේ ගින්න හටගත් මොහොතේම නෞකාව තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති වූ බවත්, මිනිසුන් බියට පත්ව එකිනෙකා පෑගී ගිය බවත්ය. මේ වන විට අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මක වන අතර, මියගිය අයගේ පවුල්වලට බලධාරීන් සිය ශෝකය පළ කර තිබෙනවා.

Discussion & Feedback