ඉතියෝපියාවේ උතුරු අම්හාරා කලාපයේ පිහිටි කඳුකර ආරාමයක පැවති විශේෂ දේව මෙහෙයකට සහභාගී වෙමින් සිටි බැතිමතුන් පිරිසක් මතට කන්දක් කඩාවැටීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තා වෙනවා. රාත්‍රී කාලයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම නායයෑම සිදුවී ඇත්තේ කඳු බෑවුමේ පිහිටි ගල් ගුහාවක් තුළ බැතිමතුන් යාඥා කරමින් සිටියදීයි. රෝග සුව කරගැනීමේ අරමුණින් පූජනීය ජලය ලබාගැනීමේ චාරිත්‍රයකට සහභාගී වීමට පැමිණි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබීම බොහෝ දෙනාගේ කම්පනයට හේතු වී තිබෙනවා. මේ වන විට මියගිය අයගෙන් 11 දෙනෙකුගේ අවසන් කටයුතු එම ආරාම පරිශ්‍රයේදීම සිදුකර ඇති අතර, තවත් පිරිසක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මෙම අනතුරෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුම් මේ වන විට නතර කර ඇති බවයි බලධාරීන් පවසන්නේ. ඉතියෝපියාවේ ප්‍රධාන වැසි සමයේදී මෙවැනි නායයෑම් බහුලව සිදුවන අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි ආපදා තත්ත්වයන් ඉදිරියේදීත් වැඩිවිය හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවනවා. පසුගිය කාලය පුරාවටම ඉතියෝපියාවේ විවිධ ප්‍රදේශවලින් මෙවැනි මාරාන්තික නායයෑම් වාර්තා වූ අතර, එය එරට ජනතාවට විශාල තර්ජනයක් වී තිබෙනවා. පවුල්වල සාමාජිකයින්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මියගිය අය සිහිපත් කරමින් ආගමික වතාවත් සිදුකිරීමට පියවර ගෙන ඇති අතර, මේ වන විට එම ප්‍රදේශයේ දැඩි ශෝකී වාතාවරණයක් පවතිනවා.

Discussion & Feedback