ප්රකට චිත්රපට අධ්යක්ෂ ඩැනී බොයිල් තමන්ගේ අලුත්ම නිර්මාණය වන ‘ඉන්ක්’ (Ink) චිත්රපටය සඳහා කෘත්රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය යොදා ගත් බව ප්රසිද්ධියේම පිළිගෙන තිබෙනවා. ‘ද සන්’ පුවත්පතේ ආරම්භය ගැන කියැවෙන මේ චිත්රපටයේ තත්පර 30ක පමණ කාලයක් සඳහා මෙම තාක්ෂණය භාවිතා කර ඇති බවයි ඔහු පවසන්නේ. විශේෂයෙන්ම පැරණි ඡායාරූප සජීවීකරණය කිරීමට සහ චිත්රපටයේ එන මීයන් කිහිප දෙනෙකු නිර්මාණය කිරීමට මේ තාක්ෂණය ඉතා ප්රයෝජනවත් වූ බව බොයිල් සඳහන් කරනවා. කෙසේ වෙතත්, මේ පිළිබඳව ප්රේක්ෂකයන් අතර විවිධ මත පළවෙමින් පවතින අතර, ඇතැම් පිරිස් චිත්රපටයේ කෘත්රිම බුද්ධිය භාවිත කිරීම දැඩි ලෙස විවේචනය කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොයිල් පවසන්නේ කෘත්රිම බුද්ධිය යනු නිවැරදිව සහ ගෞරවනීය ලෙස භාවිතා කළ යුතු ඉතා වටිනා මෙවලමක් බවයි. විශේෂයෙන්ම නළුවන්ගේ රැකියා අහිමි නොවන පරිදි සහ ඔවුන්ට නිසි ගෙවීම් සිදු කරමින් මෙය භාවිත කිරීම වැදගත් බව ඔහු අවධාරණය කරනවා. ඒ වගේම, අනාගතයේදී තාක්ෂණික දැවැන්තයන් විසින් මාධ්යවේදීන් වෙනුවට කෘත්රිම බුද්ධිය යොදා ගනිමින් පුවත්පත් කලාව අභියෝගයට ලක් කිරීමට ඉඩ ඇති බවටත් ඔහු සිය කනස්සල්ල පළ කර තිබෙනවා. ජැක් ඕ’කොනල්, ගයි පියර්ස් සහ ක්ලෙයාර් ෆෝයි රංගනයෙන් දායක වන මෙම චිත්රපටය දෙසැම්බර් මාසයේදී සිනමාහල්වලටත්, ජනවාරි මාසයේදී නෙට්ෆ්ලික්ස් හරහාත් ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා.

Discussion & Feedback